August 31, 2024

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් අරමුදල් සපයන ලද දූෂණ විරෝධී වැඩසටහනක් සඳහා වෙන්කරන ලද මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිඥ කවුන්සිලය විසින් පත්කළ පංච පුද්ගල විශේෂ කමිටුව තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ JICA අතර ඇති ගිවිසුම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කිරීමට අපොහොසත්වී ඇති අතර, එමගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ඔහු කෙරෙහි තැබූ විශ්වාසය කඩකර ඇති බවයි.

අදාළ විශේෂ කමිටුව ඔවුන්ගේ අවසාන සොයාගැනීම්වලට එළඹීමට පෙර පසුගිය මැයි 29 දින සිට රැස්වීම් අටක් පවත්වා ඇත.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනග්-ඊස්වරන්, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න, ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් සහ ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් යන සාමාජිකයන්ගෙන් සමන්විත කමිටුව විසින්, ඉදිරිපත් කරන ලද සාක්ෂි සළකා බැලීම මඟින් කොන්ත්‍රාත් ක්‍රියාවලියේ සහ සම්පත් තෝරාගැනීමේ විනිවිදභාවයේ අඩුවක් අනාවරණය කරගෙන තිබේ.

මීට අමතරව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අර්ථවත් අධීක්‍ෂණයක් කිරීමට අපොහොසත් වී ඇති බවද කමිටුව සොයාගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය යටතේ සම්පත්දායකයන් ලෙස වැටුප් ලැබූ ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු සහ ඉන්දතිස්සගේ ඥාති දියණිය ඇතුළු තවත් දෙදෙනකු විසින් කිසිදු වරදක් සිදුකර නොමැති බව විශේෂ කමිටුව විසින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය තුළ ලේඛනගත කිරීම, මූල්‍ය කළමනාකරණය සහ ගෙවීම් සඳහා පැහැදිලි ක්‍රියා පටිපාටි නිර්වචනය කිරීම සඳහා මූල්‍ය අත්පොතක් පිහිටුවීමට කමිටුව ඒකමතිකව නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ගෞරවනීය තනතුරු දරන නිලධාරී මණ්ඩලය, විශේෂයෙන්ම මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් විනිවිදභාවය සහ අවංකභාවය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අවබෝධ කරගනිමින් මෙම නිර්දේශය කර තිබේ.

තවද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින්ට සංගමයේ කටයුතුවලින් මූල්‍ය හෝ වෙනත් මුදල් ප්‍රතිලාභ නොලැබිය යුතු බවට කමිටුව එකඟවී ඇත.

මෙම අවශ්‍යතාවය පවුලේ සාමාජිකයන්ට සහ නීතිඥ සංගමයේ සාමාජිකයන් සමඟ සමීපව සම්බන්ධ පුද්ගලයන්ට ද අදාළ වේ.

ජනාධිපති නීතීඥවරුන් දසදෙනකු සහ නීතීඥවරුන් 80කට අධික පිරිසක් ඇතුළු නීති වෘත්තිකයන් පිරිසක් ජයිකා ව්‍යාපෘතියේ අපකීර්තිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා සිටීමත් සමඟ මැයි මාසයේදී මෙම මතභේදය ආරම්භ විය.

ජයිකා ආයතනය විසින් අරමුදල් සපයන ලද දූෂණ විරෝධී වැඩසටහන සඳහා වෙන් කළ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඇතුළු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින් පස්දෙනකුට එම කණ්ඩායම චෝදනා කළහ.

ජයිකා ආයතනය වාර්තා කළ පරිදි ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 21ක් වැය වන අතර, අවම වශයෙන් චූදිතයන් පස්දෙනා විසින් රුපියල් මිලියන 19ක් සාවද්‍ය පරිහරණය කර ඇති බව ප්‍රකාශ විය.(Daily FT)

(https://www.ft.lk/front-page/JICA-scandal-Special-committee-finds-BASL-President-failed-to-act-transparently/44-766219)