September 12, 2024

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී ව්‍යාපෘතියට අනුව පූර්ණ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන නීති සහ ක්‍රියාපටිපාටි දැඩි ලෙස අනුගමනය කරන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා පවසයි.

ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රකාශකවරයකු එසේ පවසා තිබුණේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමඟ ඇති ජයිකා ගිවිසුම සම්බන්ධයෙන් පවතින මතභේද පිළිබඳ කරන ලද විමසුමට ප්‍රතිචාර දක්වමිනි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජයිකා ආයතනය සමඟ ඇති කරගත් කොන්ත්‍රාත්තුවට අදාළව නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවත් එමගින් විශ්වාසය කඩ කළ බවත් ගිවිසුම පිළිබඳ සොයා බැලූ නීතිඥ මණ්ඩලය විසින් පත් කළ පංච පුද්ගල විශේෂ කමිටුවක් චෝදනා කර තිබිණි.

සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය ෆයිස් මුස්තාපා, ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනග්-ඊස්වරන්, ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ්, ජනාධිපති නීතිඥ රියන්සි අර්සුකුලරත්න සහ ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් යන අයගෙන් විශේෂ කමිටුව සමන්විත වේ.

කෙසේවෙතත්, නීතීඥ සංගමය සමඟ ඇති කරගත් ගිවිසුම ඔවුන්ගේ ප්‍රසම්පාදන නීති හා ක්‍රියා පටිපාටිවලට අනුකූල බව ජයිකා ආයතනය අවධාරණය කළේය.

නීතීඥ සංගමය ඔවුන්ගේ සියලු වගකීම් සාර්ථකව ඉටු කිරීමෙන් පසු, කොන්ත්‍රාත්තුවට අනුව නීතීඥ සංගමය වෙත ඔවුන් සම්පුර්ණයෙන්ම ගෙවීම් කළ බව ජයිකා ආයතනය පවසයි.(The Island)