June 8, 2024

ඉවෝන් ජොන්සන්ගේ ඝාතකයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමාව දීම අත්තනෝමතික බවත් නීතියට අනුව වලංගු නොවන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව තමන්ට මහත් සහනයක් බව ඇයගේ පවුලේ අය ප්‍රකාශ කරති.

“ඉවෝන්ගේ ඛේදනීය හා කුරිරු වියෝව අපගේ හදවත් තුළ පිරවිය නොහැකි හිස්බවක් ඉතිරි කරමින් අපට ඉමහත් හා නිම නොවන වේදනාවක් ඇති කර තිබෙනවා. ඔහුට සමාවදීම ගැඹුරු පාවාදීමක් ලෙසයි අපට හැඟී ගියේ. එය අපගේ ශෝකය සහ වේදනාව තවත් වැඩිකළා. මෙම තීන්දුව මගින් යුක්තිය සහ වගවීමේ වැදගත්කම යළිත් තහවුරු කරනවා, එවැනි වැදගත් තීරණ ඕනෑවට එපාවට ගත නොහැකි බව අවධාරණය කරනවා.” යනුවෙන් ඔවුන් පවසා තිබේ.

ඉවෝන් ජොන්සන්ගේ පවුලේ අය පවසා ඇත්තේ මෙම නඩුව සම්බන්ධයෙන් වෙහෙස නොබලා කටයුතු කළ සහ මෙම සමස්ත කාරණය පුරා අවංකව කටයුතු කළ අධිකරණයට දැඩි කෘතඥතාව පළ කරන බවයි.

“අපි නීති කණ්ඩායමට අපගේ කෘතඥතාව ද පුද කරනවා. මෙම ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඉවහල් වී තිබෙනවා, යුක්තිය සඳහා ඔබගේ සහයෝගය සහ කැපවීම සඳහා අපට ප්‍රමාණවත් තරම් ස්තූති කළ නොහැකියි. මෙම තීන්දුව අපේ පවුලේ පමණක් නොව නීතියේ ආධිපත්‍යය විශ්වාස කරන සියලු දෙනාගේම ජයග්‍රහණයක්. එය ශ්‍රී ලංකාවේ සියලුම වින්දිත කාන්තාවන් සඳහා වැදගත් පියවරක්. අත්තනෝමතික තීරණවලින් ඔවුන්ගේ ජීවිතයට හා ගෞරවයට බාධා කළ නොහැකි බව තහවුරු කර තිබෙනවා” යනුවෙන් ද ඔවුන් පවසා තිබේ.

ඉවෝන් ජොන්සන්ගේ පවුලේ අය කියා සිටියේ මෙම පෙත්සම ගොනු කිරීම පිළිබඳ සහ ඉවෝන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට සහාය වීම පිළිබඳ ‘කාන්තා සහ මාධ්‍ය සාමූහිකයට’ ද එකසේ කෘතඥ වන බවයි.

”ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ උපදේශනය මෙම අසාධාරණ සමාව අභියෝග කිරීමට සහ කාන්තා අයිතිවාසිකම් මෙන්ම යුක්තිය සඳහා වන පුළුල් ඇඟවුම් ඉස්මතු කිරීමට හේතු වුණා. ඔවුන්ගේ ප්‍රයත්නයන් සත්‍ය වශයෙන්ම පෙන්නුම් කරන්නේ සහයෝගීතාවේ බලය සහ හරි දේ වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කමයි, ” යනුවෙන් ඉවෝන් ජොන්සන්ගේ පවුල අය තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත්, මිනීමරුවා කඩිනමින් සොයාගෙන නැවත බන්ධනාගාරයට ගෙන ඒම අත්‍යවශ්‍ය බව ද ඔවුහු පැවසූහ.

“මෙය යුක්තිය සත්‍ය වශයෙන්ම ඉටුවන බව සහතික කිරීම සඳහා අවශ්‍යයි. පිටුවහල් කිරීමේ ගිවිසුම්වල සිදුරු යුක්තිය ඉටු කිරීමට බාධාවක් වීමට ඉඩ දිය නොහැකියි. මිනීමරුවා කොතැනක සැඟවීමට තීරණය කළත් ඔහුගේ ක්‍රියාවන්ට වගවීම යටපත් කළ නොහැකියි,” යනුවෙන් ඉවෝන් ජොන්සන්ගේ පවුල ප්‍රකාශ කර ඇත.

රෝයල් පාක් ඝාතනයේ චූදිත ජූඩ් ජයමහට සමාවදෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ නියෝගය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා එය අවලංගු කළේය.

රෝයල් පාක් ඝාතනයට ගොදුරු වූ අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියන 01ක වන්දියක් ගෙවන ලෙසට සිරිසේනට නියම විය.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවය.

2005 වසරේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ දී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජයමහට මරණ දඬුවම නියම විය.

අනතුරුව ජූඩ් ජයමහ ජනාධිපති සමාව මත 2019 දී නිදහස් විය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට ජනාධිපති සමාව ලබාදීමට ගත් තීරණය ඉවෝන් ජොන්සන්ගේ පවුල ඇතුළු සමාජයේ විශාල පිරිසකගේ දැඩි විවේචනයට ලක්විය.

42.31%
17.27%
32.76%