January 18, 2024

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ගුවන් යානා ඉන්ධන දුම්රිය බෝගිවලට පිරවීමේදී ලීටර් 2500ක් පමණ උතුරායෑමේ සිදුවීමක් වාර්තා වේ.

ඉන්දියානු තෙල් සමාගමට අයත් පෙට්‍රල් තොගයක් අංක 18 ටැංකියට ගොඩබෑමෙන් පසුව පොළොවට කාන්දු වීමේ සිදුවීමක් ද පසුගිය මස වාර්තා වී තිබිණි.

එම සිදුවීමෙන් මසක් ගතවීමටත් ප්‍රථම මෙම වහා ගිනි ඇවිලෙන සුළු අධි අවදානමක් සහිත ගුවන් යානා තෙල් දුම්රිය බෝගිවලට පිරවීමේදී උතුරා යෑම සිදුවීම වාර්තා වී තිබේ.

අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ, තොග චලන තොග නිෂ්පාදන අංශයේ ඉහළම නිලධාරීන් මෙම ඉන්ධන උතුරායෑම්, කාන්දුවීම්, ඉන්ධන අස්ථානගතවීම් ඉන්ධන තොග ගණනය කිරීම්වලදී 0,05 රීතියට අනුව ගණනය කර දූෂණ අක්‍රමිකතා යටගසන බවයි.

කෙසේවෙතත් මේ වනතුරුත් මෙම දූෂණ අක්‍රමිකතා පිළිබඳ ආයතන ප්‍රධානීන් දෙදෙනා මුනිවත රැකීමේ ක්‍රියා පිළිවෙත හේතුවෙන් ආයතනයට හි⁣⁣තෛශී සේවකයන් කියාසිටින්නේ ආයතනය තුළ දැඩි විනය පිරිහීමක් පවතින බවයි.

ඉකුත් මස තුන්වැනි දින ඉන්දියානු ඔයිල් සමාගමට අයත් ඉන්ධන ගොඩබෑමේදී කොලොන්නාව අංක 18 ඉන්ධන ටැංකියෙන් ඉන්ධන කාන්දුවීමක් සිදුවූවාද, එසේත් නැතිනම් වෙනත් යමක් හේතුවෙන් සිදුවූවාද යන්න සොයාබලනු වෙනුවට ඉන්ධන තොග සම්බන්ධයෙන් ගැටලු රාශියක් පවතින අවස්ථාවක වත්මන් ප්‍රධාන පාලකයන් සිදුකරන්නේ, වැරදිකරුවන් රකින කමිටු පත්කර ඒවායින් දූෂිත ක්‍රියා සිදුකරන නිලධාරීන් රැකීමට කටයුතු කිරීම බවට සේවකයෝ චෝදනා කරති.

ආයතනයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වෝහාරික විගණනය සඳහා ද මෙම ඉන්ධන තොග විගණනය කිරීමට අදාළ විෂය පථයට ඇතුළත් කර නොතිබීම බරපතළ කාරණයක් බව ද සේවකයෝ පවසති.

42.31%
17.27%
32.76%