March 20, 2024

විදේශ රැකියා පිළිබඳ විශ්වසනීය තොරතුරු ලබාදීම,විගමණික සේවක සේවිකාවන් ඇගයීම ඇතුළු කරුණු ගණනාවක් ඉලක්කර කරගත් ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ මීළඟ අදියර මාර්තු 22 – 23 යන දිනවලදී මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ මැදිහත්වීමෙනි.

එහිදී විගමණික සේවක සේවිකාවන් ඇගයීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අමාත්‍යංශයේ ‘ගරුසරු’ වැඩසටහනට සමගාමීව අසංවිධිත වෘත්තීන්වල ජාතික මණ්ඩල පත්කිරීම, කම්කරු දෙපාර්තමේන්තු නීති වෙනස් කිරීම හා මිනිස් වෙළඳාම යනාදී කාරණා පිළිබඳ දැනුවත් කිරීම, මාධ්‍යවේදීන් දැනුවත් කිරීම, බලපත්‍රලාභී රැකියා ඒජන්සි සමග සම්බන්ධ වීමේ අවස්ථා ලබාදීම, තරුණ තරුණියන් හෙට වැඩ ලෝකයට දැනුවත් කිරීම, ශ්‍රම වාසනා වැඩසටහනින් වැඩ කරන අයගේ දරුවන්ට පාසල් කට්ටල ලබා දීම, තෝරාගත් පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

‘ජයගමු ශ්‍රී ලංකා – පොළොන්නරුවට ස්මාට් හෙටක්’ වැඩසටහන පසුගිය සති අන්තයේ පැවැත්වුණේ පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදීය.

පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ වෙසෙන වෘත්තීය අවස්ථා සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස්, පාසල් සිසුන්, විදේශගත ශ්‍රමිකයන්, වෘත්තීයවේදීන් ගණනාවක් මෙම දෙදින වැඩසටහනට සහභාගි වී තිබිණි.

‘ජයගමු ශ්‍රී ලංකා ස්මාට් යූත් ක්ලබ්’ අදියර අමතමින් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර සඳහන් කළේ පොළොන්නරුව, ගොවි ජනපද ව්‍යාපාර හැදෙන සමයේදී විරෝධාකල්ප දක්වන පිරිස් අද මෙන්ම එදාද මෙරට සිටි බවත් ඒවා නොතකා කටයුතු කිරීමෙන් රටට සහල් නිෂ්පාදනයෙන් දායකත්වය දෙන ප්‍රමුඛ දිස්ත්‍රික්කයක් වීමට පොළොන්නරුව දිස්ත්‍රික්කය වර්තමානයේ සමත් වී තිබෙන බවත්ය.

“අපිට තියෙන්නේ මේ කෘෂිකාර්මික පොළොන්නරුවේ අනාගතය ඩිජිටල් ලෝකයට යනකොට ස්මාට් පොළොන්නරුවක් කරන්න. ස්මාට් වැඩ්ඩො සමග ස්මාට් කෘෂිකර්මාන්තයක් මේ පොළොන්නරුවෙන් බිහි කරන්න. ඒක තමයි අපේ අරමුණ, ඒක තමයි අපේ ඉලක්කය. ඉතිහාසයේ හැමදාම මේ වගේ අවස්ථා හැමදාම හම්බවෙන්නේ නෑ.” යනුවෙන් ඇමැතිවරයා සඳහන් කළේය.

‘ජයගමු ශ්‍රී ලංකා’ පොළොන්නරුව වැඩසටහනට විදෙස් රැකියා අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට අධික සංඛ්‍යාවක් සහභාගී වී තිබිණි.

මෙරට අවිධිමත් අංශයේ රැකියා කරනු ලබන සියලු දෙනාගේ ශ්‍රමයට ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලබා දීම පිණිස ක්‍රියාත්මක වන ‘ගරුසරු’ වැඩසටහන පිළිබඳව ද මෙහිදී දැනුවත් කෙරිණි.

‘ජයගමු ශ්‍රී ලංකා’ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර සහ කුරුණෑගල, පොළොන්නරුව මේ වන විටත් වැඩසටහන් පවත්වා තිබේ.

42.31%
17.27%
32.76%