January 20, 2024

සඳ මත සාර්ථක ගොඩ බෑමක් සිදුකළ පස්වැනි ජාතිය බවට ජපානය පත්ව තිබේ.

ජපාන විද්‍යාඥයන් සහ අභ්‍යවකාශ ලෝලීන් මෙම සඳමත ගොඩබෑම සමරනු ලැබුවද මෙම චන්ද්‍ර මෙහෙයුමට එහි සියලු අරමුණු සාක්ෂාත් කරගත හැකිද යන්න පිළිබඳව ප්‍රශ්න පවතින බව වාර්තා වේ.

සඳමත ගොඩබෑමත් සමඟ එක්සත් ජනපදය, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මත යාත්‍රාවක් ගොඩ බැස්සවූ පස්වැනි රට බවට ජපානය පත් විය.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ නිලධාරීන් පැවසුවේ සඳ අභ්‍යවකාශ යානය පිළිබඳ විමර්ශනය කිරීමේ ස්මාර්ට් ලෑන්ඩරය මෘදු ගොඩබෑමක් සිදු කර ඉහළ නිරවද්‍යතාවයකින් ගොඩබෑමේ ඉලක්කය සපුරා ගත් බවට විශ්වාස කිරීමට හොඳ හේතුවක් ඇති නමුත් ඉලක්කගත ස්ථානයේ සිට මීටර් 100ක් ඇතුළත ගොඩබෑම සාක්ෂාත් කර ගත්තේද යන්න තහවුරු කිරීමට තවත් කාලයක් අවශ්‍ය වනු ඇති බවයි.

“අපි හිතනවා අපි මෘදු ගොඩබෑමක් කිරීමට සමත් වී ඇති බව. ගොඩබෑමෙන් පසු දත්ත අඛණ්ඩව පෘථිවියට යොමු කරමින් තිබෙනවා ,එය මෘදු ගොඩබෑමක අපගේ ඉලක්කය සපුරා ඇති බවට සාක්ෂියක්,” යැයි ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ සභාපති හිරෝෂි යමනාකා අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

කෙසේවෙතත්, ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ නිලධාරීන් පැවසුවේ, ලෑන්ඩරයේ ඇති සූර්ය පැනල බලශක්තිය නිපදවන්නේ නැති බවත්, ලෑන්ඩරය එහි ඔන්බෝඩ් බැටරියෙන් බල ගැන්වෙන බවත්, එය පැය කිහිපයක් පමණක් පවතින බවත්ය.

සූර්ය පැනලවලින් විදුලිය නොලැබීම ලෑන්ඩරයේ ක්‍රියාකාරකම්වල කාලසීමාව සීමා කළ හැකි නමුත් සතුව ඇති බලයෙන් හැකිතාක් දුරට ක්‍රියාකාරකම් ඉටු කිරීමට උපරිමයෙන් කටයුතු කරන බව ඔවුහු පැවසූහ.

කෙසේවෙතත් බැටරි බලය අවසන් වීමෙන් මෙහෙයුම අවසන් වීමක් අදහස් නොවන බව එම නිලධාරීහු අවධාරණය කළහ.

අභ්‍යවකාශ යානයේ ඉතිරි කොටස් නොවෙනස්ව පවතින බැවින් ගොඩබෑමේදී සූර්ය පැනලවලට හානි සිදුවී ඇතැයි නිලධාරීන් විශ්වාස නොකරන අතර ඉදිරි සති කිහිපය තුළ සූර්යයාගේ කෝණය වෙනස් වන විට පැනල මගින් විදුලිය නිපදවීමට පටන් ගත හැකි බව සඳහන් කළේය.

සූර්ය පැනල නිසි ලෙස ක්‍රියා කළේ නම්, සඳෙහි දිවා කාලයේ සෙල්සියස් අංශක 100ක් පමණ ඉහළ යා හැකි උෂ්ණත්වයෙන් පැනලවලට හානි වීමට පෙර, ක්‍රියාත්මක වන බව නිලධාරීහු පැවසූහ.

අභ්‍යවකාශ යානය සඳ වෙත ගෙන යන මාස හතරක ගමනේ අවසාන අදියර “භීෂණයේ මිනිත්තු 20” ලෙස නම් කර තිබිණි.

සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ දී අභ්‍යවකාශ යානය එහි අවසාන බැසීම ආරම්භ කරන විට ඒ පිළිබඳ උනන්දුව ඉහළ ගියේය.

12:20ට පමණ, ලොව පුරා මිනිසුන් බලා සිටියදී, “මූන් ස්නයිපර්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අභ්‍යවකාශ යානය සඳ මතුපිටට සාර්ථකව ගොඩ බැස්සේය.