July 22, 2024

2024 LPL තරගාවලියේ පස්වැනි අදියරේ ශූරතාව සමඟ අමෙරිකානු ඩොලර් ලක්ෂයක (රුපියල් කෝටි 3යි ලක්ෂ 34ක්) මුදල ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ දිනාගත්හ.

ලයිකා මොබයිල් හිමිකාරීත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් පිල එල්පීඑල් ඉතිහාසයේ සිව්වැනි වරටත් ශූරතාව සමඟ සල්ලි මල්ල රැගෙන යෑම විශේෂත්වයකි.

අනුශූරතාව දිනූ ගෝල් මාවලර්ස් පිලට අමෙරිකානු ඩොලර් 50000ක් (රුපියල් කෝටි 1යි ලක්ෂ 51ක්) ප්‍රදානය විය.

කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ විදුලි ආලෝක ධාරා මැද පැවති එල්පීඑල් අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කිංග්ස් පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහරදී ගෝල් මාවලර්ස් පිල කඩුලු 6කට ලකුණු 184ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා පිල පන්දු 26ක් ඉතිරිව තිබියදී කඩුලු 1ක් දැවී ලකුණු 185ක් ලබා කඩුලු 9ක ජය වාර්තා කළේය.

දඹුල්ලේදී මෙයට දින 11කට පෙර කළම්බු ස්ට්‍රයිකර්ස් පිලට එරෙහිව පන්දු 50කදී නොදැවී ලකුණු 108ක් ලබා එල්පීඑල් තරග බිමේ වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අලුත් කළ දකුණු අප්‍රිකානු ජාතික රිලී රොසොව් ඊයේ අවසන් තරගයේදී යළිත් තම වේගවත් බව ප්‍රදර්ශනය කරමින් පන්දු 53කදී හයේ පහර 7ක් හා හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 106ක් ලැබීය.

ජැෆ්නා පළමු කඩුල්ල ලෙස මුල්ම පන්දුවේදී පැතුම් නිශ්ශංක ලකුණු බින්දුවකට දැවීගිය පසු රිලී රොසොව් හා කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 93කදී ලකුණු 185ක නොබිඳුණු ජයග්‍රාහී සබඳතාවක් ගොඩනැඟූහ.

එය එල්පීඑල් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තාවූ හොඳම සබඳතාව විය. කුසල් මෙන්ඩිස් පන්දු 40කදී හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 72ක් ලබාසිටියේය.

මෙවර එල්පීඑල් තරගාවලියේ තම පළමු අර්ධ ශතකය රැස් කළ භානුක රාජපක්ෂ පන්දු 34කදී හයේ 6ක් හා හතරේ 8ක් සමඟ ලකුණු 82ක් රැස් කර ගෝල් මාවලර්ස් පිල ඉහළට එසැවුවද යහපත් ප්‍රතිඵලයක් අත් නොවිණි.

ඔවුන් පවර් ප්ලේ ඕවර 6 තුළදී ලකුණු 22ක් ලබා සිටියදී භානුක රාජපක්ෂ හා ටිම් සෙයිෆර්ට් සබඳතාව ඉදිරියට ඒමට ඉවහල් විය.

ලකුණු 24කට ගෝල් පිලේ කඩුලු 3ක් බිඳ වැටී තිබියදී භානුක රාජපක්ෂ හා ටිම් සෙයිෆර්ට් එක්ව සිව්වැනි කඩුල්ලට පන්දු 32කදී ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩනඟා තිබියදී ටිම් සෙයිෆර්ට් ලකුණු 47කට දැවී ගියේය.

චරිත් අසලංක යැවූ 16 වැනි ඕවරයේදී හයේ 4ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 28ක් ලබා ගැනීමට භානුක රාජපක්ෂ සමත්වීම 27,000කට අධික ප්‍රේක්ෂකයින්ගේ අමන්දානන්දයට හේතු විය.

පවර් බ්ලාස්ටර් ඕවර දෙකේදී ගෝල් මාවලර්ස් පිල ලකුණු 42ක් එක් කර ගැනීමට සමත්වීම කැපී පෙනිණි.

තරගයේ වීරයා සම්මානය හා රුපියල් ලක්ෂ 30ක මුදල් ත්‍යාගය රිලී රොසොව්ට හිමිවිය.

ගෝල් මාවලර්ස් පිල කඩුලු 6කට ලකුණු 184 (ඕවර 20)

ටිම් සෙයිෆර්ට් 47, භානුක රාජපක්ෂ 82, සහන් ආරච්චිගේ 16, ඩෙවයින් ප්‍රිටෝරියස් නොදැවී 12 (ජේසන් බෙරෙන්ඩ්ඕෆ් 18/2, විජේකාන්ත් වියෙස්කාන්ත් 27/2, අසිත ප්‍රනාන්දු 35/3)

ජැෆ්නා කිංග්ස් කඩුලු 1ක් දැවී ලකුණු 185 (ඕවර 15.4)

කුසල් මෙන්ඩිස් නොදැවී 72, රිලී රොසොව් නොදැවී 106 ( ඩෙවයින් ප්‍රිටෝරියස් 18/1)