September 4, 2024

යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බත්කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත්කළ ඉතාලි ජාතික පිය පුතු යුවළක් වැරදිකරු කරමින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා විසින් ඊයේ(03) නියම කරන ලදී.

මෙලෙස දඩ මුදල නියම වූයේ වයස අවුරුදු පනස්අටක් වන පෙරාරි ලුයිගි හා වයස අවුරුදු 28ක් වන පෙරාරි මාටියා යන ඉතාලි ජාතික පිය පුතු යුවළකටයි. මෙම දඩ මුදල තිස්සමහාරාම අධිකරණ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදල බව තිස්සමහාරාම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

ඉතාලි ජාතිකයන් වෙනුවෙන් වෙනත් ප්‍රදේශවලින් පැමිණි නීතිඥ කණ්ඩායමක් පෙනීසිටි අතර ඔවුන් විත්තිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ මෙම ඉතාලි ජාතිකයන් දෙපළ සතුන්ට ආදරය කරන පුද්ගලයන් බවයි.

“ඔවුන්ගේ ගෙදරත් මේ වගේ සත්තු ඉන්නවා. ඒ බව අපිට පෙන්වන්න පුළුවන් වීඩියෝ සාක්ෂියක් පෙන්ඩ්‍රයිව් එකක් ආධාරයෙන් අධිකරණයට ලබාදිය හැකියි. ඒ නිසා සානුකම්පිතව බලා අවම දඩයක් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා” යනුවෙන් විත්තියේ නීතිඥවරු සඳහන් කළෝය.

විත්තියට කරුණු පැහැදිලි කළ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් විදේශ ජාතිකයන් නිසා මෙම නඩුකරය ඉක්මනින්ම විසඳීම සඳහා අධිකරණය ඉතා ඉක්මණින් කටයුතු කළ බවත්, ඊට අදාළ විශේෂඥ වාර්තා කඩිනමින් කැඳවීමට හැකිවූ බව ද සඳහන් කළේය.

එමෙන්ම මෙම විත්තිකරුවන් මූලික අවස්ථාවේදීම වරද පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් මෙම පරීක්‍ෂණ කඩිනම් වීමට ඉවහල් වූ බව ද කීය.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙය ආරක්ෂිත සතුන් සම්බන්ධයෙන් කරනු ලැබූ වරදක් බැවින් ගොනුකරන ලද චෝදනා තුන්සිය හතරටම වැරදිකරුවන් වන බව කියා සිටියේය.

ඒ අනුව එක් එක් චෝදනාවට අදාළ දඩ මුදල අධිකරණයට කියා සිටි අතර එහි මුළු එකතුව ලෙස රුපියල් හයකෝටි එක් ලක්ෂ අසූ දහසක මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

එම දඩ මුදල ඊයේ ගෙවීමට කටයුතු කළ හැකිද යන්න විමසා සිටි අතර ඒ සඳහා පිළිතුරු දෙමින් විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ අද දින ගෙවීමට මුදල් නොමැති බවය.

එසේනම් කොටසක් හෝ ගෙවීමට හැකිද යන්න මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අවස්ථාවේදී ද විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ කොටසක් හෝ ගෙවීමට හැකියාවක් නොමැති බවය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මේ මස 29 වන දින දඩ මුදල ගෙවන ලෙසට නියෝග කළේය.

දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතිකයන් දෙපළට රටින් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බව ද සඳහන් කළේය.

මෙම නඩුව අවසානයේ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ජනමාධ්‍යයට අදහස් දක්වමින් කටගමුව වනසත්ත්ව අඩවි ආරක්ෂක කේ. සුජීව නිසාන්ත සඳහන් කළේ, ඉතිහාසයේ මෙතෙක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් අය කරගත් විශාලම දඩ මුදල මෙය වන බවය.

සමනල විශේෂ සහ බත්කූරන් විශේෂ නීති විරෝධී ලෙස එකතු කිරීම සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බී වාර්තාවක් ඉදිරිපත් කරමින් නඩු පැවරූ අතර චෝදනා තුන්සිය හතරකින් යුත් චෝදනා පත්‍රයක්ද වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් විදේශකයන් සතුව සතුන් තුන්සිය හැටකට වැඩි ප්‍රමාණයක් සිටි බවත් එම සතුන් හඳුනා ගැනීම සඳහා දෙහිවල සත්ත්වෝද්‍යානය විශේෂඥ වාර්තාවක් කැඳවූ බවත් සතුන් 360කින් සතුන් 108ක් හඳුනාගෙන වාර්තාවක් ලබාගත් බව ද සඳහන් කළේය.

එම සතුන් ලෙස ලිපිඩෙකප්ටරා ගෝත්‍ර විශේෂ අනූ දෙකකුත්, ඔඩනාටා ගෝත්‍ර විශේෂ නමයකුත් ඒ අතර වන බව සඳහන් කළේය.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලද චෝදනා සියල්ල ගොනුකර අන්තර්ජාතික සත්ත්ව හා ජාන වෙළඳාමට එරෙහි විශිෂ්ට නඩු තීන්දුවක් තිස්සමහාරාම අධිකරණය විසින් ලබාදී ඇති බව ද සඳහන් කළේය.

වනජීවී ආඥා පනතේ හතරවන උපලේඛනය සහ අටවන උපලේඛන අනුව මෙම සතුන් ළඟ තබා ගැනීම හෝ ප්‍රවාහනය කළ නොහැකි බැවින් එම නීති විරෝධී ක්‍රියාව වෙනුවෙන් නඩු පැවරීම සිදුකළ බව යාල උද්‍යාන භාර මනෝජ් සඳහන් කළේය.(දිනමිණ)