May 1, 2024

ඉන්දියාවේ නාගපට්ටිනම්හි සේරුදුර්හි ධීවරයකුට ශ්‍රී ලංකාවේ සිට පැමිණි බවට සැක කෙරෙන දෙමළ කතාකරන නාඳුනන පිරිසක් විසින් මුහුදු මැදදී ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 48 හැවිරිදි ඒ.එන්මුරුගන් නැමති ධීවරයා මේ වන විට රෝහල්ගත කර සිටී.

සේරුදූර්, සිංගරවේලර් නගර්, සුනාමි නිවාස ප්‍රදේශයේ පදිංචි ඔහු අක්කරේපෙට්ටේ ධීවරයන් තිදෙනෙකු සමඟ ෆයිබර් බෝට්ටුවකින් මුහුදට ගොස් ඇත්තේ පසුගිය ඉරිදායි.

සඳුදා දිනයේ ඔවුන් කොඩියක්කරේ වෙරළට ඔබ්බෙන් මසුන් අල්ලමින් සිටියදී වෙනත් බෝට්ටුවක ගමන් කරමින් සිටි දෙමළ කතා කරන පිරිසක් ඔවුන් වෙත ළඟා වී තිබේ.

ආහාර සොයන මුවාවෙන් ප්‍රහාරකයන් නාගපට්ටිනම් ධීවර බෝට්ටුවට ඇතුළු වී ඇත.

ඉන්පසු ඔවුන් තම භූමියේ මසුන් ඇල්ලූ බව පවසමින් ධීවරයන්ට පහරදීමට පටන්ගෙන ඇති අතර වානේ කම්බි සහ ලී කොටවලින් එන්මුරුගන්ට පහර දී තිබේ.

අනෙක් ධීවරයන් තිදෙනා ප්‍රහාරයෙන් බේරීමට මුහුදට පැන ඇත.

ප්‍රහාරකයන් මොවුන් සතුව තිබූ ධීවර දැල්, ජංගම දුරකථන, GPS උපකරණ, වෝකිටෝකි සහ රුපියල් ලක්ෂ 2.48ක අනෙකුත් භාණ්ඩ පැහැරගෙන ගොස් තිබේ.

ප්‍රහාරකයන් එම ස්ථානයෙන් පිටව ගිය පසු මුහුදට පනින ලද ධීවරයන් නැවතත් තම බෝට්ටුවට ගොඩවී අඟහරුවාදා කොඩියකරේ වෙත ළඟා වී ඇත.

එන්මුරුගන් නාගපට්ටිනම් රජයේ වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ප්‍රකාශ වී ඇත.

ප්‍රහාරකයට එරෙහි වේදරන්යම් සමුද්‍ර පොලිසියට පැමිණිලි කර ඇති අතර වාචික අපයෝජනය, මරණීය තර්ජන සහ මංකොල්ලකෑම සඳහා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලාංකික ජාතිකයන් යැයි සැකකරන පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හෙළාදැකිය යුතු බවත් එවැනි සිදුවීම් වළක්වා ගැනීමට සහ තුවාල ලැබූ ධීවරයන්ට සහන සැලසීමට සුදුසු පියවර ගන්නා ලෙස මධ්‍යම රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිය යුතු බවත් සමාජ මාධ්‍ය සටහනක ඉන්දීය ටීඑම්සී පක්ෂ සභාපති ජී.කේ. වාසන් පවසා තිබේ.

42.31%
17.27%
32.76%