42.31%
17.27%
32.76%
September 27, 2023

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු නිරාකරණය කරමින්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් යෝජනා කිහිපයක් ආංශික අධීක්ෂණ කාරක සභා වෙත ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 03ක භුමි ප්‍රමාණයක්, බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉදිකිරීමට මෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යෝජනා කර ඇත

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂගේ සභාපතිත්වයෙන් ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාරගේ සභාපතිත්වයෙන් මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකාබද්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලු සාකච්ජා කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම කමිටු හමුවට කැඳවා තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා, කුරුන්දි රජමහා විහාරය බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස පැහැදිලිවම හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කර ඇත.

එමනිසා මෙම භුමිය පුරාවිද්‍යාත්මක ලෙස සෑම ශ්‍රී ලාංකිකයකුටම අයිති වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා කමිටු හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ.

2013 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය අනුව කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට අක්කර 229 ක් අයත්වන බව මෙහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

GPS තාක්ෂණය ඔස්සේ හඳුනාගත් එම ප්‍රදේශයේ පවතින ස්මාරක පදනම් කරගනිමින් මෙම භුමි ප්‍රමාණය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබේ.

කෙසේ වෙතත් මෙම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශය තවදුරටත් තහවුරු කරගැනීම වෙනුවෙන් විද්වත් පර්යේෂණ කණ්ඩායමක් ගවේෂණ කටයුතු සඳහා සූදානමින් පවසුවන බව පුරාවිද්‍යාඅධ්‍යක්ෂ ජනරාල් කමිටුව හමුවේ සඳහන් කර ඇත.

එම නැවත ගවේෂණය මාස 06ක් තුළ සිදුකිරීමට සැලසුම් කර තිබේ. එමගින් පුරාවිද්‍යා වටිනාකමින් යුතු දෑ හඳුනාගෙන එම ප්‍රදේශ පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කිරීමටත්, පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ප්‍රදේශ නිදහස් කිරීමටද අපේක්ෂා කරන බවටත් එම දෙපාර්තමේන්තුව පවසා තිබේ.

මේ අතර දැනටමත් උතුරේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන ක්‍රමානුකුලව ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට, කමිටුව බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත ප්‍රදේශය කතරගම පූජා භුමිය මූලික කරගත් ආකෘතියට ගොඩනැගිය යුතු බව කමිටු සාමාජිකයන් පවසා තිබේ.

කුරුන්දි රජමහා විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කළ පිරිස් වලට අහිමිවන ඉඩම් වෙනත් ප්‍රදේශයකින් ලබාදීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය වන බව බලධාරීන් මෙහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත.

42.31%
17.27%
32.76%