January 4, 2024

පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපති යන තනතුරුධාරීන් තිදෙනාම පසුගියදා දිවයිනින් බැහැරව ඉන්දියාවට ගොස් සිටීමත්, එම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මහලේකම්ද සහභාගිවීමත්, වාර්තාවීම නිසා මේ පිළිබඳ නීති විශාරදයන් අතර මත ගැටුමක් නිර්මාණය වීම කෙරෙහි බලධාරීන් දැඩි අවධානය යොමුකර ඇති බව දැනගන්නට ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.

පාර්ලිමේන්තුව 48 පැයකට වැඩි කාලයකට කල්තබා ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස අගමැතිවරයා කථානායකවරයා වෙත දැනුම්දීමක් කළහොත්, කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළ යුතු බව ස්ථාවර නියෝග 16හි දක්වා ඇත.

යම් හෙයකින් කථානායකවරයා දිවයිනින් බැහැරව ගොස් සිටියහොත් නියෝජ්‍ය කථානායකවරයා එම වගකීම ඉටුකළ යුතු වෙයි.

ඉන්දියානු රජයෙන් කථානායකවරයා වෙත ලැබුණු ආරාධනයකට අනුව කථානායක, නියෝජ්‍ය කථානායක, කාරක සභා නියෝජ්‍ය සභාපති හා පාර්ලිමේන්තුවේ මහලේකම් ඇතුළුව මන්ත්‍රීවරුන් පිරිසක් ඉන්දියාවට ගොස් තිබූ අතර එම පිරිස 21 වැනිදා ආපසු පැමිණ තිබේ.

පාර්ලිමේන්තු රැස්වීම ඉකුත් 13 වැනිදා අවසන් වූ පසු ජනවාරි 09 වැනිදා තෙක් කල්දමනු ලැබීය.

මේ අතර, පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකරනු ලබන පෙත්සම්කරු විසින් එම පෙත්සමේ පිටපතක් කථානායකවරයා වෙත බාරදිය යුතු බැවින් එවැනි අවස්ථාවකදී ද කථානායක, නියෝජ්‍ය කථානායක හා කාරක සභා නියෝජ්‍ය සභාපති රට තුළ නොසිටියහොත් ගැටලුවක් නිර්මාණය වීම කෙරෙහිද අවධානයට යොමු වී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළ පෙත්සම්කරුවකු එම පෙත්සමේ පිටපතක්, කථානායකවරයා වෙත හැර වෙනත් කිසිවකුට බාර නොදිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාව උපුටා දක්වමින්, එවකට හිටපු කථානායක චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී තීන්දුවක් ලබාදී ඇත්තේ, ‘දිවිනැඟුම’ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ පෙත්සම්කරු එකී පෙත්සමේ පිටපත කථානායකවරයා වෙත බාරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ දැඩි අවධානයක් යොමුකර ඇති බව තතු දත් ආරංචිමාර්ග සඳහන් කරයි.

42.31%
17.27%
32.76%