October 29, 2023

පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ යෝජිත ස්වාධීන අධිකාරියට බරපතළ විෂමාචාර ක්‍රියාවලට වැරදිකරුවන් වන මන්ත්‍රීවරුන් නෙරපා හැරීමේ බලතලද ඇති බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.

රජය දැනට කටයුතු කරමින් සිටින පාර්ලිමේන්තු ප්‍රමිති පනත් කෙටුම්පත යටතේ මෙම ආයතනය පිහිටුවනු ඇත.

පනත් කෙටුම්පතේ මූලික කෙටුම්පත සම්බන්ධයෙන් කථානායකවරයාගේ සහ පක්ෂ නායකයන්ගේ අදහස් ලබා ගැනීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන සහ අධිකරණ ඇමැති රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් ඉකුත් සඳුදා අනුමත කරන ලදී.

පනත් කෙටුම්පතේ මූලික කෙටුම්පත සකස් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද කමිටුවක් මගිනි.

එම කමිටුවේ ප්‍රධානියා වූයේ හිටපු කථානායක කරු ජයසූරියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය කඩ කරන මන්ත්‍රීවරුන්ට යෝජිත ප්‍රමිති අධිකාරිය මඟින් බරපතළ ප්‍රතිවිපාක ඇති වියහැකි බව සහතික කරන බවද ඇමැති රාජපක්ෂ පවසයි.

“මේ වන විට මන්ත්‍රීවරුන්ගේ බරපතළ විෂමාචාරවලට කළ හැකි දෙයක් නැහැ. මෙම නව ආයතනය එය වෙනස් කරනු ඇති.විෂමාචාරවලට වරදකරුවන් වන මන්ත්‍රීවරුන් නෙරපා හැරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පවා එම ආයතනය හේතු වියහැකියි,” යනුවෙන් ඔහු අනාවරණ කළේය.

යෝජිත පනත් කෙටුම්පත යටතේ මන්ත්‍රීවරුන්ගේ මූල්‍ය තත්ත්වයන් පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යනු ඇති බවත්,ඒ සම්බන්ධ කිසියම් නොගැළපීමක් ඇති අවස්ථාවක මන්ත්‍රීවරුන් අදාළ තොරතුරු ප්‍රකාශයට පත්කළ යුතු බවත් ඇමැතිවරයා පැවසීය.

යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු වනුයේ මන්ත්‍රීවරුන්ගේ විශ්වසනීයත්වය, වගවීම සහ වෘත්තීයභාවය සහතික කිරීම සහ එමගින් පාර්ලිමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය වර්ධනය කිරීම බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

ස්වාධීන නියාමන ආකෘතියක් ලෙස ක්‍රියා කරන අදාළ ආයතනය මගින් මන්ත්‍රීවරුන්ගේ වේතන, දීමනා සහ පහසුකම් තීරණය කිරීම සහ සමාලෝචනය කිරීම; මන්ත්‍රීවරුන් සඳහා චර්යාධර්ම සංග්‍රහය ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම; පාර්ලි‌මේන්තු අනුමැතියට යටත්ව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු වගකීම් සහ කාර්භාරයන් පැවරෙනු ඇත.

පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් බරපතළ සිදුවීම් දෙකක් වාර්තා වූ පසුබිමක මෙම අධිකාරිය පිළිබඳ යෝජනාව පැමිණ තිබිණි.

42.31%
17.27%
32.76%