43.4%
15.4%
30.9%
August 16, 2024

මහජනතාවට අපහසුතාවයක් නොවන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස විවෘතභාවය හා වගවීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රආරච්චි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට දැනුම් දී තිබේ.

නව ආගමන පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එම කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

එහිදී පසුගිය වසරේ (2023) විදේශ ගමන් බලපත්‍ර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබියදී ඉන් 23%ක් පමණක් භාවිත කර ඇති බවත් ඉතිරි 77% භාවිත කර නොමැති බවත් ඉලුක්පිටිය පවසා තිබේ.

එමෙන්ම මෙම වසරේ ඔක්තෝබර් මස අවසන් වන විට විද්‍යුත් ගමන් බලපත්‍රය (e-passport) හඳුන්වාදීමට නියමිත බැවින් නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ඇතැම් රටවලින් ඉල්ලා සිටීමට හැකියාව පවතින බවත් ඒ අනුව අත්‍යවශ්‍ය අය හැර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමෙන් වැළකී සිටින්නැයි එම දෙපාර්තමේන්තුව නව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම විද්‍යුත් ගමන් බලපත්‍ර ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බවත් ඔක්තෝබර් මස අවසන් වන විට විද්‍යුත් ගමන් බලපත්‍ර මිලියන පහක් ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් මුදල් ගෙවා විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම ජනතාවගේ අයිතියක් බැවින් ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි ඉල්ලා සිටින ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ආංශික අධීක්ෂණ කමිටුව අවධාරණය කර ඇත.

එසේ නොවන්නේ නම් දෙපාර්තමේන්තුව මෙන්ම රජය ද ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වන බව එහි සභාපති සුමිත්‍රආරච්චි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

නව ආගමන පනත් කෙටුම්පත සළකා බලමින් ඉලුක්පිටිය පැවසුවේ සංක්‍රමණික හා විගමන පනතේ සහ 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර (නියාමන) සහ පිටවීමේ බලපත්‍ර පනතේ සංචාරක ලියකියවිලි නිකුත් කිරීම සහ තාක්ෂණික තත්ත්වය වත්මන් සමාජයට ගැළපෙන පරිදි සංශෝධනය කරමින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවයි.

මෙරට ආගමන නීතිවල හිඩැස් පිරවීමට මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සපයා ඇති බවද මෙහිදී අනාවරණ විය.

 

43.4%
15.4%
30.9%