February 28, 2024

රුසියානු සංචාරකයන් දකුණේ ප්‍රදේශ කිහිපයක නීතිවිරෝධී ව්‍යාපාරවල නිරත වන බවට ජනමාධ්‍ය මගින් හෙළිදරව් කිරීමෙන් පසුව මෙවැනිම ව්‍යාපාර දකුණේ පවත්වාගෙන යමින් දේශීය ව්‍යාපාරවලට බාධා කිරීමට සහ කර්මාන්තයේ පාර්ශ්වකරුවන් අතර දැඩි සැළකිල්ලක් ඇති කර සිටින බොහෝ ඊශ්‍රායල සහ යුක්රේන සංචාරකයන් සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමුව තිබේ.

Daily Mirror වාර්තා කර ඇත්තේ ඔවුන් දකුණු වෙරළ තීරයේ මෙම ප්‍රදේශවල කළ සංචාරයේ දී ඊශ්‍රායල සහ යුක්‍රේන සංචාරකයන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික මෙහෙයුම්වලට බුටික් හෝටල්, ආපනශාලා සහ කැෆේ ඇතුළත් බව දැනගන්නට ලැබුණු බවයි.

එහිදී දේශීය සංචාරක ව්‍යාපාරිකයන් පෙන්වා දී ඇත්තේ බොහෝ යුක්‍රේන සංචාරකයන් විනෝද චාරිකා සංවිධානය කිරීමේ මට්ටමට පවා පැමිණ ඇති අතර සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස ක්‍රියා කිරීමට සංචාරකයන් ලෙස ඔවුන්ට බලපත්‍රයක් නොමැති බැවින් එය නීති විරෝධී බවයි.

කඩිනම් නිරීක්ෂණ ක්‍රියාවලියක් බලාත්මක නොකළහොත් සංචාරකයන් දේශීය ව්‍යාපාරවලට බාධා කිරීමට සහ ඔවුන්ගේ ජීවනෝපායට බාධා කිරීමට උත්සාහ කරන බැවින් සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර ගැටුම් ඇති විය හැකි බව දකුණේ ප්‍රදේශවාසීන් ද පෙන්වා දී තිබේ.

ඊශ්‍රායල ජාතිකයන් තම ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඉඩම් මිලදී ගෙන ඇති බව ද වාර්තා වේ.

ඇතැම් ඊශ්‍රායල ජාතිකයන් 99 අවුරුදු බදු පදනම මත ඉඩම් මිලදී ගෙන ඇති බව ද ප්‍රාදේශීය ආරංචි මාර්ග වාර්තා කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශවල ඉඩම් හා දේපළ ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.

අන්තර්ජාතික අමුත්තන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික කටයුතුවල නියැළීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බව තහවුරු කරන සංචාරක අංශයේ පාර්ශවකරුවන් එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ඇතැම් ප්‍රදේශවල කර්මාන්තයට බලපෑම් එල්ල වන බවට ද අනතුරුඅඟවා තිබේ.

නිසි ලියාපදිංචියකින් තොරව දීර්ඝ කාලීනව මෙරටට පැමිණෙන සංචාරකයන් පිරිසක් ව්‍යාපාරික කටයුතුවල නියැළීම සම්බන්ධයෙන් තමන් විසින් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවත් සංචාරකයන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරවලින් බහුතරයක් කුඩාවට ආරම්භ කර කාලයත් සමඟ සැළකිව යුතු ලෙස වර්ධනය වී ඇති බවත් එම කර්මාන්තයේ නිලධාරීහු පවසති.

“අපි මේ ගැන බලධාරීන් සමඟ 2022 සිටම කතා කළා. දකුණේ මේ තත්ත්වය ඇතිවෙමින් තිබෙන බව අපි දැක්කා නමුත් දැන් එය අනෙකුත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත වී තිබෙනවා,” අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති නිෂාඩ් විජේතුංග පවසා තිබේ.

දේශීය ව්‍යාපාරිකයන්ගේ පැමිණිලි කිහිපයක් මත තම අමාත්‍යංශය ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ බවත් බලධාරීන් විසින් සිදු කරන ලද වැටලීම්වලින් පසුව මෙම විදේශීය ව්‍යාපාර කිහිපයක් මෙරට ලියාපදිංචි වී නොමැති බව හෙළි වූ අතර ඔවුන් බදු ගෙවන්නේ නැති බවත් සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සති අන්තයේ කියා සිටියේය.