October 13, 2023

“දැන් යුද්ධයට කාලයයි” බව ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියා පවසා ඇති අතර, ආක්‍රමණයට පෙර ගාසා තීරය ආසන්නයේ යුද ටැංකි පෙළගසා, එම ප්‍රදේශය පාලනය කරන පලස්තීන සටන්කාමී හමාස් කණ්ඩායම සමූල ඝාතනය කිරීමට ද සැලසුම් කර ඇති බව ආධාරණය කර තිබේ.

ඊශ්‍රායලය ආක්‍රමණය ආරම්භයේ සිට ගාසා තීරයට ගුවනින් ප්‍රහාර එල්ල කර ඇති අතර පලස්තීන සටන්කාමීන්ට මාරාන්තික ප්‍රහාරවලට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශකර ඇත්තේ, ගාසා තීරයේ සිටින මිලියන 1.1ක පමණ පලස්තීනුවන් ඉදිරි පැය 24 තුළ දකුණු ප්‍රදේශයට ගෙන යා යුතු බවට ඊශ්‍රායල හමුදාව දන්වා ඇති බවයි.

විනාශකාරී ප්‍රතිවිපාක නොමැතිව එවැනි කාර්යයයක් සිදුවිය නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසා ඇත.

“එවැනි ඕනෑම නියෝගයක් තහවුරු වුවහොත්, දැනටමත් ඛේදවාචකයක් පවතින දේ විපත්තිදායක තත්වයක් බවට පරිවර්තනය වීම වළක්වාගැනීම සඳහා කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පාර්ශ්වයන්ගෙන් දැඩි ලෙස ආයාචනා කරන” බවද ඔහු පවසා තිබේ.

ඊශ්‍රායල ආණ්ඩුව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ට සහ නේටෝ ආරක්ෂක ඇමතිවරුන්ට හමාස් සංවිධානය විසින් පසුගිය සති අන්ත ප්‍රහාරයකින් මරා දැමූ ළමුන්ගේ සහ සිවිල් වැසියන්ගේ ඡායාරුප පෙන්වා ඇත.

බ්ලින්කන් ඊශ්‍රායලයෙන් සංයමයක් පෙන්වන ලෙස ඉල්ලා සිට ඇති අතර “අපි සැමවිටම ඔබේ පැත්තේ සිටිමු.” යන ඇමරිකාවේ සහාය පුනරුච්චාරණය කර ඇත.

ඔහු ජෝර්දානයේ රජු අබ්දුල්ලා සහ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ පලස්තීන අධිකාරියේ ප්‍රධානියා වන මහමුද් අබ්බාස් හමුවීමට නියමිතව සිට ඇත්තේ, යුද්ධය වර්ධනය වීම නැවැත්වීමේ අරමුණින් සිදුකෙරෙන මැද පෙරදිග සංචාරයක කොටසක් ලෙස ය.

ඊශ්‍රායල හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්සි හැලෙවි පවසා ඇත්තේ, ප්‍රහාරය සිදු වූ ගාසා තීරය අවට ආරක්ෂක අසාර්ථකත්වයන් හදුනා ගත් බවයි. “අපි ඉගෙන ගන්නෙමු, විමර්ශනය කරන්නෙමු, නමුත් දැන් යුද්ධයට කාලයයි,” ලෙස ඔහු පවසා තිබේ.

මේ අතර එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසා ඇත්තේ, හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායල හමුදාව නිවැරදි දේ කරනු ඇතැයි වොෂින්ටනය අපේක්ෂා කරන බව ය.

ඔස්ටින් ඊශ්‍රායලයට යෑමට නියමිත අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට සැලසුම් කර ඇත.

අන්තර්ජාතික රතු කුරුස කමිටුව (ICRC) පවසා ඇත්තේ, ගාසා තීරයේ රෝහල්වල විදුලි ජනක යන්ත්‍ර වලට අවශ්‍ය ඉන්ධන පැය කිහිපයක් ඇතුළත අවසන් විය හැකි බවයි.

හියුමන් රයිට්ස් වොච් බ්‍රහස්පතින්දා දින ඊශ්‍රායලයට චෝදනා කර ඇත්තේ, ගාසා තීරයේ සහ ලෙබනනයේ මිලිටරි මෙහෙයුම් වලදී සුදු පොස්පරස් උණ්ඩ භාවිතා කළ බව ය.