March 18, 2024

පසුගිය වසරේ ඔක්තෝබර් 07 වැනිදා ගැටුම් ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ළමුන් 13,000කට වඩා මරාදමා ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පවසයි.

එම අරමුදල පවසන්නේ, ගාසා තීරයේ තවත් බොහෝ දරුවන් දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන අතර ඔවුන්ට අඬන්නටවත් ශක්තියක් නොමැති බවයි.

“තවත් දහස් ගණනක් තුවාල ලබා සිටිනවා, නැත්නම් ඔවුන් සිටින්නේ කොහේදැයි අපට තීරණය කරන්න බැරිවෙලා තිබෙනවා. ඔවුන් සුන්බුන් යට සිරවී සිටිනවා වෙන්නත් පුළුවන් … ලෝකයේ වෙනත් කිසිදු ගැටුමක දී පවා ළමුන් අතර එවැනි මරණ අනුපාතයක් අප දැක නැහැ, ” යනුවෙන් යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ කැතරින් රසල් CBS ප්‍රවෘත්ති ජාලයට පැවසුවාය.

“මම හිටියේ දරුණු රක්තහීනතාවයෙන් පෙළෙන දරුවන්ගේ වාට්ටුවල. මුළු වාට්ටුවම නිස්කලංකයි. මොකද ළමුන්ට, බබාලට… අඬන්නවත් ශක්තියක් නෑ.” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.

ඊශ්‍රායලයේ ‘ජන සංහාරක’ යුද්ධය ආරම්භ වූ දා සිට පලස්තීනුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් අධික සාගතයකින් පෙළෙන බැවින් සහනාධාර රැගත් ට්‍රක් රථ ගාසා වෙත ගෙනයෑමේ දී “ඉතා විශාල නිලධාරිවාදී අභියෝග”වලට මුහුණ දීමට සිදුවී ඇති බව රසල් පැවසුවාය.

එපමණක් නොව, පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයට (UNRWA) අනුව, උතුරු ගාසා තීරයේ වයස අවුරුදු දෙකට අඩු ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් මේ වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙයි.

මාස පහකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලට මුහුණ දෙන එම ප්‍රදේශයේ සාගතයක් පවතින බවට ද එම ඒජන්සිය අනතුරු ඇඟවීය.

යුද්ධයේ මරණ සංඛ්‍යාව, ගාසා තීරයේ සාගින්න පිළිබඳ අර්බුදය සහ වටළා ඇති ප්‍රදේශය වෙත ආධාර සැපයීම අවහිර කිරීමේ චෝදනා හේතුවෙන් ඊශ්‍රායලයට අන්තර්ජාතික විවේචන එල්ල වී තිබේ.

මිලියනයකට වඩා පලස්තීනුවන් සරණාගතව සිටින, ඊජිප්තුවට මායිම්ව පිහිටි රෆා නගරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ලකරන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරිදා නැවත නැවතත් තර්ජනය කළේය.

“හමාස් තුරන්කිරීම, අපගේ සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරය තවදුරටත් ඊශ්‍රායලයට තර්ජනයක් නොවන බව සහතික කිරීම යන යුද්ධයේ සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීමට අප දරන ප්‍රයත්නය කිසිදු අන්තර්ජාතික පීඩනයකට වැළැක්විය නොහැකියි,” යනුවෙන් නෙතන්යාහු සිය කාර්යාලය විසින් නිකුත් කරන ලද වීඩියෝවකදී පැවසීය.

ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ඔක්තෝබර් 07 වැනිදා සිට, ඊශ්‍රායලයේ මිලිටරි මෙහෙයුමේ දී අවම වශයෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 31,645ක් මරාදමා ඇති අතර ඒ අතරින් වැඩි පිරිස කාන්තාවන් සහ ළමුන් වේ.

ඊශ්‍රායල මෙහෙයුම් හේතුවෙන් එහි පදිංචිකරුවන් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇත.

ඊශ්‍රායල මෙහෙයුම එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික අධිකරණයේ විමර්ශනයට ලක්වෙමින් තිබෙන අතර ජන සංහාරයක් පිළිබඳ චෝදනාවලට ද හේතු වී තිබේ.

ඊශ්‍රායලය වාර්ගික සංහාර චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔක්තෝබර් 07 වැනි දින හමාස් ප්‍රහාරයෙන් පසු තමන් ක්‍රියාකරන්නේ ආත්මාරක්ෂාව සඳහා බව අවධාරණය කරයි.

ඔවුන් පවසන්නේ මෙම ගැටුම්වලදී 1,130කට වැඩි පිරිසක් මියගිය බවත්, 200කට වැඩි පිරිසක් වහලුන් ලෙස ගෙන ගිය බවත්ය.