January 9, 2024

ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවේ ප්‍රධාන සැකකරු වන, එම ඖෂධය නිෂ්පාදනය කළ Isolez Biotech Pharma AG (Pvt) Ltd ආයතනයේ හිමිකරු බව කියන පුද්ගලයා, ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පරික්ෂණ සඳහා සහයෝගය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

පොලිසිය පවසන්නේ, අධිකරණ නියෝගයක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් ඊයේ පෙරවරුවේ සීදූව කුප්‍රකට Isolez Biotech Pharma AG (Pvt) Ltd කම්හල වෙත ගිය අතර, එහිදී රක්ෂිත බන්ධනාගාරගතව සිටින එහි හිමිකරු ජානක ප්‍රනාන්දු ද එම ස්ථානයට රැගෙන ගොස් ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසා ඇත්තේ, ඊයේ පස්වරු 2.00 ට පමණ සැකකරු සමඟ NMRA නියෝජිතයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට පැමිණි බවයි.

කෙසේවෙතත් ප්‍රධාන සැකකරු කම්හල නිරීක්ෂණය සඳහා රැගෙන ඒමේදී විශාල ප්‍රමාදයක් සිදු ව ඇත.

සැකකරු එම ස්ථානයට ගෙන එන විට NMRA නිලධාරීන් ඔවුන් භාරයේ තිබූ යතුරු රැගෙන කම්හල් පරිශ්‍රයට ඇතුළු වී ඇති අතර, එහිදී ඔහුව ප්‍රධාන ගොඩනැගිල්ලට කැඳවාගෙන ගොස් ඇත.

කෙසේවෙතත් කම්හල් පරිශ්‍රයේ විදුලිය විසන්ධි වී තිබී ඇති අතර, එමනිසා බොහෝ ස්ථාන පරික්ෂා කිරීමට නිලධාරීන්ට හැකියාව ලැබී නැත.

සැකකාර ජානක ප්‍රනාන්දුගෙන් විදුලිය ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන් ඉල්ලා සිටි විට ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත්තේ, තමාට සනීප නැති බවත්, විදුලිය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි හරියටම මතක නැති බවත් පවසමින් බව පොලිස් ප්‍රකාශකයා සඳහන් කරයි.

නිලධාරීහු සැකකරුව මුළු පරිශ්‍රයේම ප්‍රධාන ස්විච් පැනලය වෙත කැඳවාගෙන ගොස් ඇති නමුත්, ඔහු එහිදී කිසිදු සහයෝගයක් ලබාදී නැත.

එමනිසා සුළු වේලාවකින් සැකකරුව නැවත වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ඒම හැර නිලධාරීන්ට වෙනත් විකල්පයක් තිබී නැත.

අධිකරණ නියෝග මත කර්මාන්තශාලා සංචාරය අසාර්ථක වූ බැවින්, නඩුව මීළඟට කැඳවන හෙට දින මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කරන බව නිලධාරීන් පැවසූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරයි.

මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 27 වැනිදා NMRA සහ CID නිලධාරීන්ට නියෝග කළේ, ප්‍රධාන සැකකරු ජනවාරි 09 වැනිදාට ප්‍රථම අදාළ කම්හලේ නිරීක්ෂණ සංචාරයක් සඳහා රැගෙන යන ලෙසයි.

ඒ අනුව නිලධාරීන් එම සංචාරය සංවිධානය කර තිබිණි.

42.31%
17.27%
32.76%