February 5, 2025

අමෙරිකාවේ ලාස් වේගාස් හි පසුගියදා පැවති 2024 ලෝක රූ රැජින තරගයේ අනුශූරතාව දිනූ ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා ඊයේ සිය මව්බිමට ළඟාවිය.

අනතුරුව පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය තම අභිමානවත් කිරුළ දිනාගැනීමේ ගමනේදී ජයගැනීමට සිදුවූ අභියෝග පිළිබඳව හෙළිකළාය.

අමන්දා ඇගේ මුල් අවදිය ගැන මතකය අවදි කරමින් පැවසුවේ පවුලේ සාමාජිකයින්ගෙන් හිමිවන සහයෝගය අගය කරන බවයි.

“මම ලංකාවේ ඉපදුණත් මම හැදී වැඩුණේ ප්‍රංශයේ. නමුත් මගේ දෙමාපියන්ට ස්තූති වන්නට මට ශ්‍රී ලාංකීය සංස්කෘතිය අමතක වුනේ නැහැ. මට ඉතා සහයෝගයෙන් කටයුතු කරන පවුලක් සිටිනවා. ඔවුන් නොවන්නට මම මෙතරම් දුරක් එන එකක් නැහැ. ඔවුන් මාව කුඩා කාලයේ සිටම රූපලාවන්‍ය තරගවලට සහභාගි කරවීමට උනන්දු කළා.” යනුවෙන් ඇය පැවසුවාය.

ඇගේ ගමන ගැන ආවර්ජනය කරමින්, අමන්දා වයස අවුරුදු 16 දී ස්වාධීන වීමට අවශ්‍ය නිසා වැඩ කිරීමට පටන් ගත් ආකාරය සිහිපත් කළාය.

“මම මගේම ආකාරයෙන් විශේෂ බව මම දැන හිටියා. මට ලස්සනට අඳින්න පුළුවන් වෙන්නේ කසාද බඳිනකම් විතරයි කියලා මිනිස්සු කිව්වා. මම විවාහ වුණාට පස්සේ ඒ අය කියන්න පටන් ගත්තා ඒක කරන්න පුළුවන් වෙන්නේ මම අම්මා කෙනෙක් වෙනකම් විතරයි කියලා. බොහෝ උගත් කාන්තාවන් විවාහයෙන් පසු තම නිවෙස්වලට සීමාවී සිටින්නේ ඔවුන්ට අවශ්‍ය පවුලෙන් අවශ්‍ය සහයෝගය නොලැබෙන නිසා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් මානසික අවපීඩනයට ගොදුරු වනවා. මම හැම විටම මගේ ජීවිතය ගැන විශාල බලාපොරොත්තු තබාගෙන ජීවත් වෙන්නේ” ඇය පැවසුවාය.