October 26, 2023

ශ්‍රී ලංකාවට පැමිණි ආන්දෝලනාත්මක චීන නෞකාවක් වන ‘ෂී යැන්ග් 6′(Shi Yang 6) සමග විදේශ අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව සහයෝගයෙන් ගුවන්-මුහුදු අන්තර්ක්‍රියා සමීක්ෂණයකට සූදානම් වන නමුත්, ආරක්ෂක සංවේදීතාවන්ට බලපාන ඉන්දියානු සාගරයේ, සාගර පතුල සම්බන්ධයෙන් පර්යේෂණ නොකරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) ප්‍රකාශ කරයි.

නාරා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ කේ. අරුලානන්දන් ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ, මුහුදේ උණුසුම සහ සිසිලනය කාලගුණයට බලපාන ආකාරය අවබෝධ කරගැනීම සඳහා ජල තීරු පිළිබඳ පර්යේෂණයක් සිදුකිරීමට නියමිත බවයි.

ඉදිරියේදී ඇති විය හැකි නියඟ සහ වැසි සහිත කාලසීමාවන් අවම වශයෙන් මාසයකට පෙර පුරෝකථනය කිරීමට එය උපකාරී වනු ඇතැයි ඔහු පවසා ඇත.

“එය අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට හොඳයි. කාලගුණය අනුව ගොවීන්ට කටයුතු කිරීමට හැකියි. ඉන්දියන් සාගරය යනු ලෝකයේ අවම වශයෙන් පර්යේෂණ සිදුකරන ලද සාගරයයි. අපි සිදුකරන්නේ සහයෝගී පර්යේෂණ. ඒ කියන්නේ අපේ විද්‍යාඥයන් යාත්‍රාවේ ඉන්නවා. අපි කාටවත් දත්ත එකතු කරගෙන යන්න දෙන්නේ නැහැ. අපි දත්ත සොයාගැනීම් තබා ගන්නවා ”ඔහු සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මුහුදු පත්ල පිළිබඳ කිසිදු පර්යේෂණ කටයුත්තක් සඳහා තම පාර්ශ්වය ‘ස්ථිරවම නැත’ යන්න ප්‍රකාශ කර ඇති බවයි.

“උදාහරණයක් ලෙස, ඛනිජ සහ ගෑස් නිධි සොයාගැනීම සඳහා එවැනි දත්ත එකතු කරනවා. එවැනි කටයුතුවල ආරක්ෂක සංවේදීතාවයක් පවතිනවා. අපි ඒකට එකඟ වෙලා නැහැ” ඔහු පවසා ඇත.

කෙසේවෙතත්, විදේශ අමාත්‍යාංශය පවසන්නේ, නෞකාවට ඉන්ධන පිරවීම සඳහා ඔක්තෝබර් 28 දක්වා කොළඹ වරායේ නැව්ගත කිරීමට පමණක් අවසර ලබා දී ඇති නමුත් නෞකාව කිසිදු පර්යේෂණයකට සහභාගී නොවන බවයි.

අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහන් කර නැත. එමනිසා ඉන්ධන පිරවීමෙන් පසුව නෞකාව කිසියම් පර්යේෂණයක් සිදුකරයිද යන්න තවමත් පැහැදිලි නැත.

42.31%
17.27%
32.76%