42.31%
17.27%
32.76%
September 15, 2023

2024 මැතිවරණ පැවැත්වුවහොත් ඉන්ධන ගෑස් ගෙන්වීමට නොහැකිවේ යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා මීට පෙර සඳහන් කර ඇති බවත්, ඒ අනුව මැතිවරණ වලට වියදම් කරන්නේ ඩොලර්වලින් දැයි ගැටලුවක් මතුවන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සඳහන් කරයි.

මෙවැනි ආකාරයට ජනතාව රැවටීම නොකරන ලෙස ඉල්ලා සිටින බව ඔහු පවසයි.

නිදහස ජනතා සභාවේ ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කර ඇත.

එහිදී ඔහු මෙසේද පවසා තිබේ.

”වෙළඳ ශේෂය ගණනයේදී ආවරණය නොවන සංචාරක ව්‍යාපාරය හා විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් මුදල් ලැබෙන නිසා අප විදේශ ණය ගෙවීම ආරම්භ නොකොට බංකොලොත් රටක් ලෙස පවතින තුරු අපට ගෙවුම් ශේෂ හිඟයක් ඇති වන්නේ නැහැ. ඒ නිසා ණය ගෙවීම අරඹන තුරු තෙල් ගෑස් ගෙන්වීමේ කිසිම ගැටලුවක් ඇති වන්නේ නෑ.

ඒ ආණ්ඩුවේ හපන්කම නොවන බව පමනක් ජනතාව තේරුම ගත යුතුයි. ණය නොගෙවා සිටීම හපන්කමක් නොවෙයි.
හපන්කම ණය ගෙවීමේ හැකියාව වර්ධනය කරගැනීමයි. එය කළ හැක්කේ ආර්ථිකය සක්‍රීය කොට වර්ධනය කර ගැනීමෙන් පමනයි. නමුත් සමස්ථ ආර්ථිකය දෙස බැලුවද දකින්නට ඇත්තේ ඉතා සෝචනීය තත්වයක්.

දැන් IMF අරමුදල සමග අපට පොරොන්දු වූ වසර 05ක් තුළ ඩොලර් බිලියන 2.9 ක් ණය මුදලක් ලබාගැනීමේ දෙවන වාරිකය ලබාගැනීම සඳහා සාකච්ඡා ආරම්භ වී තිබෙනවා. මගේ පුද්ගලික මතය නම් මේ වාරිකය අපට ලැබෙනා බවයි. එයට හේතුව IMF යෝජනා කළ අප කිසිම කේවල් කිරීමකින් තොරව එකඟ වූ කරුණු බොහොමයක් රජය විසින් ඉටු කර තිබෙන නිසායි. නමුත් එය රජයේ හපන්කමක් ලෙස දැකීම මෝඩකමක්. මොකද ඒ කළ බොහෝ දෙවල් දීර්ඝ කාලීන ප්‍රතිඵල රටට අහිතකරයි.

අද ජනතාවගෙන් බහුතරයකට තමුන්ගේ මූලික අවශ්‍යතා සඳහා, ඒ කියන්නේ ආහාර විදුලිය ජලය සඳහා ආදායමෙන් වැඩි කොටසක් වැයවෙනවා. ඉතුරු වැඩ සඳහා මුදල් නෑ. දරුවන්ගේ අධ්‍යාපනයට වැයකරන්නට, සෞඛ්‍යය වෙනුවෙන් වැයකරන්නට, ඇඳුමක් පැළඳුමක් ගන්නට මුදල් නෑ. ඒ නිසා කන ටික අඩුකරලා තමයි ඉතුරු ටික කරන්න වෙලා තියෙන්නේ. බදු බර දරා ගන්නට බැරුව වෘත්තිකයෝ රට අතහැරලා යනවා

2023 පළමු අඩ තුළ පමණක් වෛද්‍යවරු 800 කට වැඩි පිරිසක්, විශේෂඥ වෛද්‍යවරු 300කට වැඩි පිරිසක්, ඉංජිනේරුවන් 1000 කට වැඩි පිරිසක්, විශ්ව විද්‍යාල ආචාර්යවරු 500කට වැඩි පිරිසක්, වෙනත් වෘත්තිකයන් දහස් ගනනක් රට හැර ගොස් තිබෙනවා. මේ විදියට බුද්ධිගලනයක් සිදුවෙද්දී අනාගතයේ මේ දුර්දාන්ත පාලනය එළවා රට හදන්නටවත් බුද්ධිමත් ජනතාවක් ඉතුරු වෙයිද ?

මේ අතරේ ආණ්ඩුවේ ලොක්කෝ මැතිවරණ සිතියම තවදුරටත් හකුළා ප්‍රජාතන්ත්‍ර විරෝධීව රට කරන්නට උත්සාහ කරනවා. අපි දුටුවා පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සභාපති කියනවා 2024 මැතිවරණයක් තිබ්බොත් තෙල් ගෑස් ගෙන්නන සල්ලි මදිවෙයි කියලා. අපි අහනවා ඔහුගෙන්, මැතිවරණයට සල්ලි ගෙවන්නේ ඩොලර්වලින්ද කියලා.

සල්ලි නෑ කියලා රජය කල්දැමූ පළාත් පාලන මැතිවරණය ජාතික මැතිවරණයක්. ඉතා සංකීර්ණ මැතිවරණයක්. ඒ සදහා මැතිවරණ කොමිසම ඉල්ලූ මුළු මුදල රුපියල් බිලියන 10ක්. පසුව මැතිවර්ණ කොමිසම කිව්වා බිලියන 04 ක් දෙන්න මැතිවරණය කරන්න කියලා. මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 04 ක් දෙන්න බෑ කියපු ආණ්ඩුව 2022 වසරට සාපේක්ෂව 2023 රාජ්‍ය වියදම රුපියල් බිලියන 1390 කින් වැඩියෙන් ඇස්තමේන්තුගත කරලා තියෙනවා. මැතිවරණයක් තියන්න අවශ්‍ය ඉන් සියයට දශම 03 යි. ඒ නිසා ජනතාව මේ තරම් ගොන්නු කියා හිතන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.”

42.31%
17.27%
32.76%