December 20, 2023

ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බැවින් සිද්ධියට සම්බන්ධ ඕනෑම අයකුට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මේ බව සඳහන් කළේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර වශයෙනි.

ව්‍යාජ ලේඛන යොදා ගනිමින් IVIG කාණ්ඩයක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු කිහිපදෙනකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමත් සමඟ අදාළ සිද්ධිය වන අවස්ථාවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ද පියවර ගන්නා ලෙස පාර්ශ්ව කිහිපයක් ඉල්ලීම් කර තිබිණි.

කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ, “ඇමැතිවරයා ගැන විශේෂ පැමිණිල්ලක් නැහැ, පැමිණිල්ල තියෙන්නේ මෙම සමස්ත ගැටලුව ගැනයි. ඇමැතිවරයා ඇතුළු ඕනෑම අයකු සම්බන්ධයෙන් හෙළිදරව් වන්නේ නම් එය සිදුවනු ඇත්තේ ඒ පිළිබඳ විමර්ශනය යන විටයි. එවැනි හෙළිදරව්වක් සිදු වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව නිසි පියවර ගනී” යනුවෙනි.

Isolez Biotech Pharma AG (Private) Limited නැමැති දේශීය සැපයුම්කරු විසින් රේගු නිෂ්කාශනය සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආනයනය කර ඇති බව අනාවරණ වීමත් සමඟ අදාළ IVIG කාණ්ඩයේ භාවිතය අත්හිටුවා තිබේ.

එම දේශීය නියෝජිතයා මෙවැනිම ව්‍යාජ ලේඛනයක් යොදාගනිමින් පිළිකා රෝගීන්ට ලබාදෙන Rituximab එන්නත් තොගයක් ආනයනය කර ඇති බවද වාර්තා විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ මුවාවෙන් ලියාපදිංචිය අත්හැරීමේ ව්‍යාජ ලිපි ඉදිරිපත් කරමින් මෙම දේශීය නියෝජිතයා IVIG ආනයනය කර තිබිණි.(The Morning)

42.31%
17.27%
32.76%