December 30, 2023

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලන, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ කතෝලික සභාවට එරෙහිව පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉඩදෙන්නේ මන්ද යන්න සැක සහිත බව කතෝලික සභාව පවසයි.

පොලිසියේ ඉහළ තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීම සහ රජය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ගැන නිසි විමර්ශනයක් සිදුනොකිරීම යන කරුණු සම්බන්ධයෙන් කතෝලික පල්ලියේ ස්ථාවරය පදනම් කරගනිමින් ඇමැති අලස් පල්ලිය විවේචනය කළ බව කතෝලික සභාව පෙන්වාදෙයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකළ බවට රජයට චෝදනා කිරීමට සාධාරණ හේතු තිබෙන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ, ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ පූජ්‍ය ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පෙන්වාදී ඇත.

“ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසම පුද්ගලයන් කිහිපදෙනෙකුට එරෙහිව පියවර ගැනීම ඇතුළු නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇතත් රජය එම නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කර නැහැ. පොලිසිය සහ ඊට සම්බන්ධ අනෙකුත් ආයතන සොයා නොබලන පැති කිහිපයක් තිබෙනවා. තත්ත්වය එහෙම නම් අපි කොහොමද කියන්නේ පරීක්‍ෂණ ගැන සෑහීමකට පත්වෙනවා කියලා.” යැයි පියතුමෝ පවසති.

නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීමට විරුද්ධ වීම සම්බන්ධයෙන් අලස් පල්ලියට එල්ල කළ විවේචනයට ප්‍රතිචාර දක්වමින් ප්‍රනාන්දු පියතුමා පවසන්නේ, ඔවුන් දෙදෙනාට විරුද්ධ වූයේ අන් කිසිවක් නිසා නොව 2019 ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට ඔවුන් අසමත්වීම නිසා බවයි.

පොලිස්පති ධූරයට පත්වීමට නියමිත පොලිස් නිලධාරීන්ගේ ලැයිස්තුව බැලුවොත් එක කතෝලික නිලධාරියෙක්වත් නැහැ. අපි කවදාවත් රජයට කියලා නැහැ කතෝලිකයෙක් පොලිස්පති කරන්න කියලා. අපි නිතරම කියන දෙයක් තමයි ජයවර්ධන සහ තෙන්නකෝන් තම වගකීම් පැහැර හැර ඇති බව ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා කියන එක. ඔවුන් නිසි ලෙස ක්‍රියා කළා නම් ත්‍රස්ත ප්‍රහාර වළක්වාගත හැකිව තිබූ බව එහි සඳහන් වෙනවා. ඔවුන් පොලිස්පති ධූරයට පත්කිරීමට අප විරුද්ධ වීමට හේතුව එයයි.”

ඇමැති අලස් පසුගිය මාස කිහිපය තුළ කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ පල්ලියට එරෙහිව අවස්ථා කිහිපයකදී විවේචනාත්මක අදහස් පළකළ බව සඳහන් කළ පූජ්‍ය ප්‍රනාන්දු හිමිපාණන් සඳහන් කළේ, එසේ කිරීමෙන් වළක්වන්නට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවක් නොකරන බවයි.

“වික්‍රමසිංහ කිසිවක් නොකරන අතර කාදිනල්තුමාට සහ පල්ලියට එරෙහිව විවේචනාත්මක ප්‍රකාශ කිරීමට අලස්ට ඉඩ සලසනවා. අලස් කරන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පසිඳලීමේ අපේ අරගලය කඩාකප්පල් කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් බවට අපට සැකයක් තිබෙනවා.” පියතුමෝ වැඩිදුරටත් පෙන්වාදෙති.

42.31%
17.27%
32.76%