October 31, 2023

විද්‍යාඥයන් පිරිසක් තුර්කියේ නැඟෙනහිර කඳුකරයේ “නෝවාගේ නැවේ නටබුන්” පවතී යැයි විශ්වාස කරන ස්ථානයක් සොයාගෙන ඇත.

එහිදී ලබා ගන්නා ලද පාෂාණ සහ පස් සාම්පල වලින් “මැටි ද්‍රව්‍ය, සමුද්‍ර ද්‍රව්‍ය සහ මුහුදු ආහාර” සොයාගෙන ඇති අතර, ඒවා ක්‍රි.පූ 5500 සහ 3000 අතර කාලයේ බව සැළකේ.

මෙම අධ්‍යයනය තුර්කි සහ අමෙරිකානු විශ්ව විද්‍යාල තුනක් එක්ව සිදුකර ඇත.

ඉරාන-තුර්කි දේශසීමාවේ සිට සැතපුම් 2 කට අඩු දුරකින්, Ağrı හි Doğubayazıt දිස්ත්‍රික්කයේ කඳු ප්‍රදේශයක සොයාගෙන ඇති අඩි 538ක විශාලත්වයෙන් යුත් මෙම නටබුන් නෝවාගේ නැවේ පාෂාණමය නටබුන් ලෙස විශ්වාස කරති.

එම ප්‍රදේශයෙන් ගෙන ඇති පාෂාණ හා පස් සාම්පල 30කට ආසන්න සංඛ්‍යාවක් එකතු කර ඉස්තාන්බුල් කාර්මික විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණය කර ඇත.

බයිබලයේ සඳහන් නෝවාගේ ඓතිහාසික නෞකාවේ විශාලත්වය, “දිග රියන් තුන්සියයක්, පළල රියන් පනහක් සහ උස රියන් තිහක්” සඳහන් වේ.

මෙම නටඹුන් සහිත ප්‍රදේශයද විස්මය දනවන ආකාරයෙන් නෝවාගේ නැවේ විශාලත්වයට බොහෝසෙයින් සමාන වේ.

බයිබලයට අනුව, දෙවියන් වහන්සේ අවුරුදු 600ක් වයසැති තිදරු පියකු වූ නෝවාට මහා ගංවතුරට පෙර නැව ගොඩනඟා සෑම සතෙකුගෙන්ම දෙදෙනකුගෙන් එය පුරවන ලෙස අණකර ඇත.

ක්‍රිස්තියානි ධර්මය, යුදෙව් ආගම සහ ඉස්ලාම් යන ප්‍රධාන ආගම් තුනේ ශුද්ධ වූ ග්‍රන්ථ සියල්ලෙහිම නෝවා සහ නැව ගැන සඳහන්ව ඇති නමුත් විද්‍යාඥයන් තවමත් කථාවල සත්‍යතාව තීරණය කර නොමැත.

තුර්කි හමුදා කපිතාන් ඉල්හාන් දුරුපිනාර් 1951 දී එම ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් සිටියදී මෙම ස්ථානය හඳුනා ගැනීමට පෙර, 1948 දී කුර්දි ගොවියෙකු විසින් මෙම ගොඩනැගීම ප්‍රථම වරට සොයාගෙන ඇත.