October 24, 2023

එක්සත් රාජධානියේ විදේශ ආධාර අයවැය කපා හැරීම තුළින් නොදැනුවත්වම චීනය වැනි රටවල්වලට ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා මූල්‍ය ආධාර සැපයීමේ අවස්ථා නිර්මාණය කර ඇතැයි එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂ නියෝජිත හියුගෝ ස්වයර් සාමිවරයා පෙන්වාදී තිබේ.

‘චීනය එල්ල කරන දිගුකාලීන උපාය මාර්ගික අභියෝග’ යන මැයෙන් සාමි මන්ත්‍රී මණ්ඩලයේ දී පසුගියදා අදහස් දක්වමින් හිටපු ඇමැතිවරයකුද වන ස්වයර් අවධාරණය කළේ, වාසිදායක අවස්ථාවන් ලබාගැනීම සම්බන්ධයෙන් චීනයට පමණක් දොස් පවරනවාට වඩා මේ සඳහා තමන්ගේම කාර්යභාරය පිළිගැනීම වැදගත් බවයි.

“උදාහරණයක් විදියට අද ලංකාව ගැන පත්තරවල තියෙනවා. කොළඹ වරාය නගරය සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් ගල්ෆ් කලාපයේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගීවූවන්ට බොහෝ විවේචන එල්ලවී තිබෙනවා, ඒ එම අරමුදල් චීන අරමුදල් බවට චෝදනා කරමින්. නමුත් එම සම්මන්ත්‍රණයේ සමස්ත අදහස වන්නේ චීන අරමුදල් දියාරු කිරීමට සෙසු ලෝකයට ඇති අවස්ථාවන් පෙන්වීමයි ” යනුවෙන් ඔහු පැවසීය.

එක අතකින් විවේචනය කරමින් අනෙක් අතට අවස්ථා මගහැර ගැනීම සුදුසු නොවන බව ඔහුගේ අදහස වී තිබේ.

අවස්ථාව ලබාගැනීම සම්බන්ධයෙන් චීනයට පමණක් දොස් පවරනවාට වඩා මෙම තත්ත්වය තුළ එක්සත් රාජධානියේ කාර්යභාරය පිළිගැනීමේ වැදගත්කම ස්වයර් සාමිවරයා අවධාරණය කළේය.

“අපගේ විදේශීය ආධාර අයවැය කපාහැරීම ගැන මම කනගාටු වනවා. එය ඇතැම් ස්ථානවලට ඉතා අහිතකර ලෙස බලපානු ඇති, අනෙක් අතට එමගින් චීන ජාතිකයන්ට ඇතුළු වීමට දොර විවර වනවා. අපට කිරීමට අවශ්‍ය දේ ඔවුන් කිරීම ගැන අපට චීන ජාතිකයින්ට දොස් පැවරිය නොහැකියි. මක්නිසාදයත්, ඔවුන් මුදල් වියදම්කිරීමට සූදානම් වුවත් අප එසේ නොකරන බැවින්” යැයිද ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය සතියේ ලන්ඩන් ටයිම්ස් වාර්තා කළේ, ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනයට සැළකිව යුතු අඩිතාලමක් ලබාදීමට හේතුවක් වියහැකි, චීනයේ අරමුදල් සහිත ශ්‍රී ලංකාවේ වරාය නගරයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් විවේචනයට ලක්ව ඇති බවයි.

42.31%
17.27%
32.76%