December 28, 2024

පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසයි.

අදාළ පළාත්වල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කර මෙම ක්‍රියාවලිය සිදු කෙරේ.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අපේක්ෂකයන් 1040 දෙනෙකු මැතිවරණ කොමිසම විසින් පොලීසියට වාර්තා කර තිබේ.

ඒ අතර අපේක්ෂකයන් 900කට අධික සංඛ්‍යාවක් මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුද වෙති.

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙම වාර්තා භාරදීමේ කාලය දෙසැම්බර් 6 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කළේ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නඩු පවරන ඕනෑම අපේක්ෂකයකු පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නුසුදුස්සකු වන බවයි.

මීට අමතරව ජනාධිපතිවරණ අපේක්ෂකයන් 13 දෙනෙකු සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඔවුන් ද සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

42.31%
17.27%
32.76%