July 1, 2024

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැනදැනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය ඇමැතිවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.

හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය ඇමැතිවරියක වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කර අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

ලංකාවේ පුරවැසියකු නොවන බව දැනදැනත් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය ඇමැතිවරියක වශයෙන් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරිම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇය අවභාවිත කළ මුදල් ආපසු අයකර ගන්නා ලෙසත් ඇයට එරෙහිව නඩු පවරන ලෙසත් ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

2020 අගෝස්තු මාසයේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඩයනා ගමගේ පසුව සංචාරක රාජ්‍ය ඇමැති ධුරයට පත්වූ බවත් මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නඩුවකට අනුව ඇගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බවත් සඳහන් කරන කාමන්ත තුෂාර ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් හා රාජ්‍ය ඇමැතිවරියක වශයෙන් කටයුතු කළ සමයේදී මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විඳ ඇතැයි සඳහන් කර ඇත.

ඩයනා ගමගේ අදාළ කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් හා රාජ්‍ය ඇමැතිවරියක වශයෙන් වැටුප් ද, නිලරථ හා ඉන්ධන, ආරක්ෂක භට පිරිස්, රියැදුරන් මෙන්ම නිල කාර්යාල හා නිල නිවෙස් ද ලබාගෙන ඇතැයි ද පෙන්වා දෙන කාමන්ත තුෂාර ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොමැති බව දනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය ඇමැතිවරියක වශයෙන් කටයුතු කරමින් ඇය රාජ්‍ය මුදල් හා දේපළ භාවිත කිරීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් කර ඇතැයි සඳහන් කර ඇත.

මෙලෙස මන්ත්‍රී හා ඇමැති වරප්‍රසාද භුක්ති විදීමෙන් මෙන්ම රාජ්‍ය මුදල් හා දේපළ භාවිත කිරීමෙන් ඇය අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කර ඇතැයි ද සඳහන් කරන කාමන්ත තුෂාර මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි ද ඉල්ලා සිටී.

මෙම පැමිණිල්ල පිළිබඳ අධ්‍යයනය කළ අල්ලස් කොමිසම මේ පිළිබඳ විමර්ශනය ආරම්භ කර ඇත.(ලංකාදීප)

42.31%
17.27%
32.76%