February 18, 2024

එප්පාවල කටියාව ප්‍රදේශයේ පදිංචි කායවර්ධන පුහුණුකරුගේ හදිසි මරණය සම්බන්ධයෙන් එප්පාවල, ප්‍රියංකරගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස ජීවිතක්ෂය‌ට පත්ව ඇත්තේ එප්පාවල කටියාව යාය 06 පදිංචි ඩී.එම් විරාජ් ඉමංක නම් 34 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය සතියේ සෙනසුරාදා (10) පස්වරුවේ 6.30ට පමණ මෙම කායවර්ධන පුහුණුකරු නිවස ඉදිරිපිට වැටී සිටියදී ඔහුගේ බාල සොයුරා විසින් කටියාව යාය 09 රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 61 වාට්ටුවේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (15) පස්වරු 6.30 ට පමණ මියගොස් තිබේ.

කායවර්ධන පුහුණුකරුගේ මරණය සැලවීමත් සමඟින් ඔහුගේ පියාද, සිත් තැවුලට පත්ව වස පානය කර රෝහල් ගත කර ඇති අතර, ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි. ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.‍‍

මෙම කායවර්ධන පුහුණුකරු නිවස ඉදිරිපිට වැටී සිටිමට පෙර බීමතින් පැමිණ නිවස අසල කෑ ගසා ඇති බවත්, කිසිවකුහෝ ඔහුට පහරදීමකින් මෙම මරණය සිදුවූයේද? මෙම කායවර්ධන පුහුණුකරු ශරීරය වර්ධනය කර ගැනීම සඳහා උත්තේජක භාවිත කරන බැවින් ඒවායේ ප්‍රථිඵලයක් නිසා මරණය සිදු වූයේද? නැතහොත් වෙනත් රෝගී තත්වයක් නිසා මරණය සිදුවූයේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව ප්‍රියංකරගම පොලිසියේ උසස් පොලිස් නිළධාරියකු පැවැසීය.

ජීවිතක්ෂයට පත් කායවර්ධන පුහුණුකරුගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ඊයේ (17) අනුරාධපුර ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

42.31%
17.27%
32.76%