December 27, 2023

ශ්‍රී ලාංකිකයන් පිරිසක් මියන්මාරයේ සයිබර් වහල් සේවයේ යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සහ සමුද්‍ර අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශන දෙකක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව The Morning වෙත පවසා ඇත්තේ, පොලසියට ලැබුණු පැමිණිලි හතරකට අනුව ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සහ චීන ජාතිකයකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

මියන්මාර ත්‍රස්ත කඳවුරක ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවයේ යෙදවීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය.

පසුගිය වසරේ (2022) සිට ශ්‍රී ලාංකික තරුණයන් මෙම ඛේදවාචයට මුහුණ දී ඇති බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය මීට පෙර අවස්ථා කිහිපයකදී එවැනි ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු බේරාගෙන ඇත.

දැනට මියන්මාරයේ සයිබර් වහල්භාවයේ සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීම සඳහා අමාත්‍යංශය දැනටමත් යැංගෝන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඉල්ලා ඇත.

මේ පසුබිම යටතේ සංචාරක වීසා මත රැකියා සඳහා විදේශගත වීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මියන්මාරයට ශ්‍රී ලාංකිකයන් ප්‍රවාහනය කිරීමේ නිරතව සිටි පුද්ගලයන් තිදෙනකු පරීක්ෂණ මගින් හඳුනාගෙන ඇති බව පසුගිය දෙසැම්බර් 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කළේය.

මෙම තිදෙනා අරලගංවිල, වතුරේගම සහ දොරතියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මේ වන විට අදාළ ප්‍රදේශවලින් පළාගොස් ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%