November 17, 2023

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට රජය කටයුතු කරන බවත්, ඉන් අනතුරුව පෙර සැලසුම් කළ පරිදි 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

කෙසේවෙතත් ඇමැතිවරයා මෙසේ පවසන්නේ, 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය පිළිබඳව ICC විසින් තවමත් නිල වශයෙන් දැනුවත් කිරීමක් කර නොමැති පසුබිමකය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපතිවරයාට, ICC නිලධාරීන්ට සහ ICC සාමාජික රටවලට එරෙහිව පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශයන් පිළිබඳව රජය කණගාටුව පළකරන අතර, ඒවා හෙළාදකින බවද ට්විටර් (X) පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා සඳහන් කර ඇත.

පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා අවසන් වූ පසු, ඇමැති මණ්ඩල අනු කමිටුව විසින් අත්හිටුවීම, පරිපාලනය සහ නෛතික ව්‍යුහය, යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ සියලු මට්ටම් හරහා ක්‍රීඩාවේ දියුණුව පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කරනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.