August 1, 2023

වසර දෙකකට පෙර තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වීමෙන් පසු, ප්‍රථම වරට කටාර්හිදී එක්සත් ජනපදයේ නිලධාරීන් සහ තලේබාන්වරු හමුවී තිබේ.

සම්බාධක සහ සංචාරක තහනම ඉවත් කිරීම මෙන්ම විදේශයන්හි රඳවා ඇති ඇෆ්ගනිස්ථාන මහ බැංකුවේ වත්කම් ආපසු ලබාගැනීම ඇතුළු විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශවය විසින් දෙදිනක් සාකච්ඡා කළ බව ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීම සහ මානව හිමිකම් ගැටළු පිළිබඳව ද මෙහිදී නියෝජිතයන් සාකච්ඡා කර ඇති බව ප්‍රකාශක අබ්දුල් කහාර් බල්කි සඳහන් කර තිබේ.

තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු, එහි පාලනය කිසිදු රටක් නිල වශයෙන් පිළිගෙන නොමැත.

ඇෆ්ගනිස්ථානය මානුෂීය අර්බුදයක් සමඟ පොරබදමින් සිටින අතර, එහි ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (මිලියන 23ක ජනතාවක්) පසුගිය වසරේ ලෝක ආහාර වැඩසටහනෙන් (WFP) ආධාර ලබාගෙන ඇත.

එක්සත් ජනපද විශේෂ නියෝජිත තෝමස් වෙස්ට් සහ ඇෆ්ගනිස්ථාන කාන්තාවන්, ගැහැණු ළමයින් සහ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත රීනා අමිරි ඇතුළු සහභාගීවූවන් විසින් තලෙබන්වරුන්ගේ “රඳවා ගැනීම්, මාධ්‍ය මර්දනයන් සහ ආගමික පිළිවෙත්වලට ඇති සීමාවන් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක්” ප්‍රකාශ කර ඇත.

ගැහැණු ළමයින්ගේ ද්විතීයික අධ්‍යාපනය සහ කාන්තා රැකියා තහනම ආපසු හැරවීමට මෙන්ම රඳවාගෙන සිටින අමෙරිකානුවන් නිදහස් කිරීම සඳහා ද නිලධාරීන් තලේබාන් සංවිධානයෙන් ඉල්ලා තිබේ.

තලේබාන් සටන්කාමීන් වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ සන්නද්ධ අරගලයට අරමුදල් සැපයීම සඳහා අබිං නිස්සාරණය කරන ශාකය භාවිතා කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2020 වන විට ලෝකයේ අබිංවලින් සියයට 85ක් සැපයෙන්නේ ඇෆ්ගනිස්ථානයෙනි.

එහෙත් තලේබාන්වරු රට අත්පත් කරගත් දා සිට එම බෝගය තහනම් කර ඇත.

එක්සත් ජනපද නියෝජිත පිරිස ඇෆ්ගනිස්ථාන මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් ද හමුවී ඇති අතර, උද්ධමනය පහත වැටීම මෙන්ම 2023 දී ඉහළ යන අපනයන සහ ආනයනයන් සැලකිල්ලට ගත් බව රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

තලේබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු නිව්යෝර්ක් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ පැවති ඇෆ්ගන් මහ බැංකු අරමුදල්වලින් ඩොලර් බිලියන 07ක පමණ මුදලක් එක්සත් ජනපදය විසින් අත්හිටුවා ඇත.

මේ වනවිට අරමුදල්වලින් අඩක් ඇත්තේ ස්විට්සර්ලන්තය පදනම් කරගත් ඇෆ්ගන් අරමුදලකය.