February 25, 2025

වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබාගත් ණයවලින් වෙනත් කටයුතු සිදුකරන්නේ දැයි සොයාබලන්නැයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) රැස් වූ අවස්ථාවේ දී මෙම උපදෙස් ලබාදී ඇත.

ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබාගත් ණය වලින් වෙනත් කටයුතු සිදුකරමින් සිටින බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම උපදෙස් නිකුත් කර තිබේ.

මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී ගන්නා වී ප්‍රමාණය පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමටද සාකච්ඡා විය.

මහාපරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 15කට අධික බැංකු ණය ලබාගෙන ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය විය.

එබැවින් රජය මෙවර වී මෙට්‍රික් ටොන් 250,000ක් මිලදී ගැනීමට අවශ්‍යව ඇති අතර, කුඩා වී මෝල් හිමියන්ද වී මිලදී ගැනීම සඳහා දිරිගැන්වීමට මෙහිදී අවධානය යොමුවිය.

නැවත සහල් හිගයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.