February 15, 2024

ඉන්දියාවේ ලොකු ළූණු අපනයන තහනම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉවත්කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවීම හේතුවෙන් ආනයනකරුවන් වැඩි මිලට ළූණු මිලදී ගැනීම සඳහා වෙනත් වෙළෙඳපොළ වෙත යොමු වී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ ළූණු අපනයන තහනමත් සමග ශ්‍රී ලංකාව වැනි රටවල ළූණු මිල ඉහළ ගොස් තිබේ.

නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් මාස තුනකදී දේශීය ළූණු මිල දෙගුණයකට වඩා වැඩි වීමත් සමග ලොව විශාලතම ළූණු අපනයනකරු වන ඉන්දියාව 2023 දෙසැම්බර් 8 වැනි දින ළූණු අපනයන තහනම් කළේය.

ඉදිරියේ දී එන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මෙම ප්‍රතිපත්තිමය තීරණය ගෙන තිබේ.

කෙසේවෙතත්, තහනම නොතකා විශේෂ වැඩපිළිවෙළක් යටතේ ඉන්දියාවෙන් ලොකු ළූණු ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව අවස්ථාවක් ලෙස ඉල්ලා ඇත.

නවතම තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු පවසා ඇත්තේ, එම උත්සාහය සාර්ථක නොවූ නිසා දේශීය වෙළෙඳපොළේ ලොකු ළූණු මිල ගණන් ඉහළ මට්ටමක පවතින බවයි.

මේ වන විට ලොකු ළූණු කිලෝවක තොග මිල රුපියල් 350-375 අතර පවතී.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ ප්‍රකාශකයකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මේ වනවිට ටොන් එකක් ඩොලර් 1200ක මිලකට පාකිස්ථානයෙන් ලොකු ළූණු ආනයනය කරන බවයි.

සාමාන්‍ය තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව මසකට ලොකු ළූණු ටොන් 20,000ක් පමණ ආනයනය කරනු ලැබේ.

මිල ඉතා ඉහළ බැවින් එය මේ වනවිට ටොන් 12,000-15,000 දක්වා පහත වැටිය හැකි බවත් පාකිස්ථානය ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවම අපනයන මිලක් පනවා තිබෙන බවත් ඔහු පෙන්වාදී ඇත.

මේ අතර, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මූලාශ්‍රයක් අනාවරණය කර ඇත්තේ, ලොකු ළූණු අපනයන තහනම ඉන්දියාව විසින් තවමත් ඉවත් කර නොමැති බවයි.

එබැවින් ශ්‍රී ලංකාවට ‘බැංගලෝර් රෝස ළූණු’ නමින් වන තවත් ළූණු වර්ගයක් එවීමට සූදානම් බව එම ආරංචි මාර්ග හෙළිකර තිබේ.

ඒ බව ඉන්දීය පාර්ශ්වය ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍යංශයට දන්වා තිබෙන බව ද වාර්තා වේ.