August 4, 2023

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාර වළක්වා නොගැනීමෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර ඇති බව නීතිපතිවරයා ඊයේ (03 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව අධිකරණයට දැනුම්දෙන ලද්දේ, අදාළ චෝදනාවලින් පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ලබාදුන් තීන්දුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම යළි විභාගයට ගත් අවස්ථාවේදී ය.

කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ ආදාළ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණ ලබාදුන් නඩු තීන්දුව දෝෂ සහිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී ප්‍රකාශ කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම අභියාචන විභාගය පැවැත්වේ.