September 17, 2024

තමිල්නාඩු රජය විසින් තිරුචි-පුදුකොටෙයි අධිවේගී මාර්ගයේ කොට්ටපත්තුවේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 300ක් ප්‍රදානය කර ඇත.

තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 107ක් පමණ ස්ථාපිත කර තිබේ.

ඒවායින් බොහොමයක් වසර 37 කට පමණ පෙර ආරම්භ කර ඇත.

තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපත්තු හි පිහිටි පුනරුත්ථාපන කඳවුරු සහ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම්, ප්‍රාන්තයේ විශාලතම සරණාගත කඳවුරු අතරට අයත් වේ.

කොට්ටපත්තුවේ පිහිටි කඳවුරේ නිවාස 470ක් ඇති අතර ශ්‍රී ලාංකික සරණාගතයෝ 1200 ක් පමණ නවාතැන් ගෙන සිටිති.

කොට්ටපත්තු කඳවුරේ නිවාස දුර්වල නඩත්තු කටයුතු හේතුවෙන් අබලන් තත්ත්වයක පවතින බව පැවසේ.

දැඩි ලෙස හානියට පත් නිවාස පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය උත්සාහ කළද, පැරණිභාවය සහ වෙනත් කරුණු හේතුවෙන් ඒවායේ තත්ත්වය අයහපත් වී ඇත.

කඳවුරුවල තත්ත්වය සහ රැඳවියන්ගේ ඉල්ලීම් පිළිබඳ වාර්තා මත පදනම්ව, පුනරුත්ථාපන හා අනේවාසික දෙමළ ජනතාවගේ සුබසාධන කොමසාරිස් කාර්යාලය කොට්ටපත්තුවේ නව නිවාස ඉදිකිරීමට තීරණය කර තිබේ.

කෝට්ටපත්තු කඳවුරේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට නව නිවාස ඉදිකිරීම සඳහා ප්‍රාන්ත රජය ඉන්දීය රුපියල් මිලියන 300ක් ලබා දී ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද හින්දු පුවත්පතට පවසා ඇත.

”බොහෝ නිවෙස් තිබුණේ දුර්වල තත්ත්වයකයි. නිවාස 500කට වඩා හදන්න යෝජනා කරලා තිබුණා. එම කටයුතු නිවාස ඉදිකිරීමේ කාර්යය දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නියෝජිතායතනයට පැවරේ.” එම නිලධාරියා පවසා ඇත.

කෝට්ටපත්තුවේ දැනට පවතින කඳවුරට ආසන්නව මෙම නිවාස ඉදිකරනු ලැබේ.

ඒ සඳහා සුදුසු ප්‍රදේශ හඳුනාගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ. එය හඳුනාගත් පසු ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ.

නව නිවාස ඉදිකර අවසන් වනතුරු කඳවුරේ රැඳවියන්ට බාධාවක් නොවන බවත්, ඔවුන් දැනට පවතින නිවාසවලම ජීවත් වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත.