December 3, 2024

වේගවත්ව මෙරටින් HIV තුරන් කිරීම සඳහා එන්නත් කළ හැකි එච්.අයි.වී ඖෂධ පදනම් කරගත් ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කර තිබේ.

“දැනට ශ්‍රී ලංකාවේ HIV සඳහා ප්‍රතිකාර කරන්නේ ටැබ්ලට් භාවිතයෙන්; කෙසේවෙතත්, බටහිර රටවල එන්නත් කළ හැකි ඖෂධ භාවිත කරනවා, HIV සඳහා ප්‍රතිකාර කිරීමට ඒවා ඉක්මනින් හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් පාලන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පවසයි.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය පවසන පරිදි HIV සඳහා වන නව ප්‍රතිකාරය ඖෂධ දෙකකින් සමන්විත වේ.

cabotegravir සහ Rilpivirine යන ඖෂධ මාස දෙකක් දක්වා රෝගියකුගේ සිරුරේ රැඳී තිබෙන බව එම ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර, ඒඩ්ස් ජාතික පාලන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග සායන මගින් HIV සඳහා ප්‍රතිකාරයක් වන ‘ප්‍රතිවෛරස් ප්‍රතිකාර’ නොමිලේ ලබාදෙන බව වෛද්‍ය ධර්මකුලසිංහ සඳහන් කරයි.

‘ප්‍රතිවෛරස් ප්‍රතිකාරය’ යනු සෑම දිනකම ලබා ගත යුතු ඖෂධ සංයෝගයක් වන අතර HIV ආසාදිතයන් සඳහා නිර්දේශ කරනු ලැබේ.

HIV යනු ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දෙන වෛරසයක් බැවින් ඊට ප්‍රතිකාර නොකළහොත් ආසාදනයේ වඩාත් දියුණු අවධියක් වන ඒඩ්ස් රෝගයට හේතු විය හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, HIV රෝග ලක්ෂණ වන්නේ උණ, කැසීම සහ උගුරේ අමාරුව යනාදියයි.

2030 වන විට HIV තුරන් කිරීමට සැලසුම් කර ඇති බව ඒඩ්ස් ජාතික පාලන වැඩසටහන අවධාරණය කළේ ප්‍රතිකාර හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් මේ වන විට ඒඩ්ස් තුරන් කර ඇති බව සඳහන් කරමිනි.

කෙසේවෙතත්, අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් වැළකී සිටින ලෙසත් ඒඩ්ස් ජාතික පාලන වැඩසටහනෙන් පරීක්ෂණ ලබා ගන්නා ලෙසත් වෛද්‍ය ධර්මකුලසිංහ ජනතාවට වැඩිදුරටත් උපදෙස් දෙයි.

ඇය ප්‍රකාශ කළේ සමාජ අපවාදයට ඇති බිය නිසා ඇතැම් පුද්ගලයන් ප්‍රතිකාර ලබා නොගෙන හෝ පරීක්‍ෂාවට ලක් නොවී සිටින බවයි.

42.31%
17.27%
32.76%