September 15, 2024

යුරෝපා සංගමයේ කොළඹ සිටින දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන සතියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සඳහා සම්බන්ධ වීමට මැතිවරණ කොමිසම අවසර දී නැත.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ලැබුණු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බවයි.

යුරෝපා සංගමයේ මෙරට සිටින තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවිය නොහැකි බව ඔහු සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කිසිදු නිරීක්ෂණ මෙහෙයුමක නිරත විය නොහැකි බවත්, මැතිවරණ නිරීක්‍ෂණය කිරීමට ඔවුන්ට අවසර දීම මැතිවරණ කොමිසමේ හෝ රටේ ප්‍රතිපත්තියක් නොවන බවත් මැතිවරණ කොමිසමේ මතය වී තිබේ.

මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත විය නොහැකි බව මැතිවරණ කොමිසම සමඟ පැවැත්වූ මූලික සාකච්ඡාවේදී යුරෝපා සංගම් කණ්ඩායමට ද පැහැදිලි කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ සිය නිරීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන ලද සියලුම අවසර ඉල්ලීම් පිළිගෙන ඇති අතර සියලුම නිරීක්ෂකයන් සඳහා අවසර ලැබී ඇති බවයි.

යුරෝපා සංගමයට සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධයෙන් ගත් කල, සිය නිරීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම විසින් ඔවුන් සඳහා අවසර ඉල්ලීම් කර නොමැති බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

දැනටමත් මෙරට සිටින නිරීක්ෂක කණ්ඩායම සමග එක්වීම සඳහා යුරෝපා සංගමයේ කෙටිකාලීන අතිරේක නිරීක්ෂක කණ්ඩායමක් හෙට මෙරටට පැමිණීමට නියමිතව ඇත.

මෙම මෙහෙයුම සඳහා සාමාජිකයන් 70 දෙනෙකු පමණ යෙදවීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.