October 15, 2024

ඩොලර් බිලියන 5ක ආයෝජනයක් සහිතව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත දුම්රිය මාර්ගය සඳහා එම ව්‍යාපෘතියේ පිරිවැය දැරීම සම්බන්ධ සාකච්ඡා අවසන් අදියරේ පවතින බව පරිසර ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශයට පත් කරන ලද පළමු විශාල ද්විපාර්ශ්වික යටිතල පහසුකම් ව්‍යාපෘතිය මෙයයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ සහකරු වන අතර විශාලතම සෘජු විදේශ ආයෝජන දායකයන්ගෙන් අයකු ද වේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආයෝජන 2021 දී ඩොලර් මිලියන 142ක් පමණ විය.

“පසුගිය මාසයේදී මම ඉන්දියාව සමඟ නවදිල්ලියේදී රැස්වීමකට සහභාගී වුණා, අපි ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය අතර අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සම්බන්ධතාව ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා,”යනුවෙන් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත.

“රටවල් දෙකේම ව්‍යාපාරිකයන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවන නිසාත්, මාර්ග හා දුම්රිය සම්බන්ධතා මගින් දෙපාර්ශවයටම සහාය ලබා ගත හැකි නිසාත් මෙය සැලසුම් කරන්නේ. එය යුරෝපීය සහ අනෙකුත් රටවල් සමඟ වෙළෙඳාමට උපකාර වෙයි. ඉන්දීය ව්‍යාපාරිකයන්ටත් ශ්‍රී ලංකාවෙන් යම් ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්.” යනුවෙන් චන්ද්‍රකීර්ති වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකා රජය 2002 වසරේ ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ මන්නාරම දූපතේ පිහිටි තලෙයිමන්නාරම ගම්මානය අතර ගොඩබිම් පාලමක් යෝජනා කර ඒ සඳහා ගිවිසුමක් අත්සන් කළේය.

ගිවිසුමට අනුව පෝක් සමුද්‍ර සන්ධියේ දෙපස ආර්ථික ප්‍රතිලාභ ලබා දෙමින් මාර්ග සහ රේල් පාලම් සම්බන්ධතා සංවර්ධනය කිරීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු තමිල්නාඩු රජය ගොඩබිම් පාලම ඉදිකිරීමට විරුද්ධ විය.

ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර මාර්ග සහ දුම්රිය සම්බන්ධතාවක් වෙනුවෙන් මූල්‍යකරණය සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලෙස ඉන්දියාව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටි විට 2015 දී එම සාකච්ඡා නැවත ආරම්භ විය.

එහෙත් දුම්රිය හා ගොඩබිම් මාර්ගය ත්‍රිකුණාමලය දක්වා ඉදිකිරීමට තීරණය කර ඇති බව එම නිලධාරියා දන්වා සිටියේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාර්ගයක් හෝ දුම්රිය මාර්ගයක් ලෙසින් ගොඩබිම් සම්බන්ධයක් නොමැත.

ශ්‍රී ලංකාවට ආසන්නතම ඉන්දියානු නගරය වන ධනුෂ්කොඩි හි දුම්රිය ස්ථානයක් තිබූ නමුත්1964 දී ඇති වූ සුළි කුණාටුවකින් එය සේදී ගියේය.

1966 දක්වා කෙටි බෝට්ටු සවාරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි දුම්රිය ස්ථාන සම්බන්ධ කළේය.

“ව්‍යාපෘතියේ පිරිවැය තවමත් අවසන් කර නැහැ. අපට ඒ ගැන තවත් සාකච්ඡා කළ යුතුව තිබෙනවා, නමුත් මම හිතන්නේ එය ඩොලර් බිලියන 5කට ආසන්න යැයි ඇස්තමේන්තු කර තිබෙනවා,”යයි ඔහු පවසා ඇත.

පාරිසරික අවසරය සඳහා යම් අනුමැතියක් ලබා ගත යුතුව ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

බාධාවකින් තොරව නෞකාවලට යාත්‍රා කිරීමට හැකි වන පරිදි පාලම් සහ දිය යට උමං මෙම ව්‍යාපෘතියට ඇතුළත් විය හැකි බව ඔහු පවසා ඇත.

 

42.31%
17.27%
32.76%