April 28, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 93 දෙනෙකුට එරෙහිව මේ වන විට අධි චෝදනා 43ක් යොමුකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රහාරයේ ප්‍රධාන නඩුව යටතේ විත්තිකරුවන් 25 දෙනෙකුට අධිචෝදනා ගොනුකර ඇති අතර නඩු විභාගය ක්‍රියාත්මක වෙමින් පවතියි.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ මෙම නඩුව වෙනුවෙන් සාක්ෂිකරුවන් 78 දෙනෙකු මේ වන විට සාක්ෂි ලබාදී ඇත.

ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් මූලික විමර්ශන කමිටුවක් විසින් අවස්ථා දෙකකදී නිදොස්කොට නිදහස් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේවෙතත්, ජාතික පොලිස් කොමිෂන් සභාව එම කමිටුවේ නිර්දේශවලට එකඟ නොවී චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.

එය නිලන්ත ජයවර්ධන විසින් අභියාචනාධිකරණයේ දැනට අභියෝගයට ලක්කර තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කොමිසම නිර්දේශ කර ඇත.

විධිමත් පරීක්ෂණයක් පවත්වා පොලිස්පති තෙන්නකෝන් නිදොස්කොට නිදහස් කරන ලදී.

තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අයදුම්පත් හතක් ගොනු කර ඇත.

තෙන්නකෝන්ගේ පත්වීමට එක් විරෝධතාවක් ලෙස කොමිසමේ නිර්දේශය දක්වා ඇත.

තෙන්නකෝන් විරෝධතාවලට පිළිතුරු දී ඇත්තේ විනය පරීක්ෂණයේදී තමන් නිදොස් කොට ඇති බවටයි.

මේ අතර, බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ වැඩසටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාඩ් මවුලානා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ “මහ මොළකරු” සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම නවතම ප්‍රකාශය පිළිබඳ විමර්ශන ලේඛනය නීතිපති දෙපාර්තමේන්තුව ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

 

42.31%
17.27%
32.76%