February 14, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

පසුගියදා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි, යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් විසින් පවත්වාගෙන යනු ලබන රුපියල් මිලියන 59 ක ඒකාබද්ධ ගිණුමක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී, මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවෙකු ලෙස ඩේසි ෆොරස්ට් නම් කර ඇති බවත්, එම ගිණුමට යෝෂිත රාජපක්ෂ විසින් ආදායම් උපයාගත් මූලාශ්‍රය පිළිබඳව සාධාරණ පැහැදිලි කිරීමක් ලබාදීමට අපොහොසත් වූ බවත්ය.

තවද, නඩුවට සම්බන්ධ සියලුම සැකකරුවන්ට මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පවරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනතුංග සඳහන් කළේය.