August 23, 2023

මාස් හෝල්ඩින්ග්ස් (MAS Holdings) වැනි මෙරට දැවැන්ත සමූහයන්ට අයත් කර්මාන්තශාලා තාවකාලිකව වැසී යන පසුබිමක ඉන්දියාවේ කොයිම්බතූර්හි පිහිටි ප්‍රධාන රෙදිපිළි සමාගමක්වන එස්පී ඇපරල් ලිමිටඩ් ශ්‍රී ලංකාවේ වැසී යන කර්මාන්ත ශාලා පවරා ගනිමින් සිය ඇඟලුම් ව්‍යාපාර පුළුල් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

‘ද හින්දු’ පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට ඉන්දියාවේ එස්පී ඇපරල් ලිමිටඩ් (SP Apparels Ltd) සමාගම ශ්‍රී ලංකාවේ අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, දැනට පවතින අක්‍රිය කර්මාන්ත ශාලාවක් පවරා ගැනීමෙන් එය සිදුකිරීමට සැලසුම් කර තිබේ.

‘ද හින්දු’ වාර්තාවට අනුව ඇඟලුම් නිෂ්පාදන වෙනුවෙන් සුපුරුදු පරිදි ඇණවුම් නොලැබීම මෙලෙස ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා තාවකාලිකව වසාදැමීමට හේතුවී තිබේ.

CeylonWire News පසුගිය අගෝස්තු 16වැනිදා අනාවරණය කළ ආකාරයට මෙරට ඉදිරිපෙළ ඇඟලුම් කර්මාන්ත සමූහයක් වන මාස් හෝල්ඩින්ග්ස් හි මිහින්තලේ, මහියංගනය සහ කිළිනොච්චිය ඇතුළු කර්මාන්ත ශාලා කිහිපයක්ම ප්‍රමාණවත් ඇණවුම් නොලැබීම හේතුවෙන්, සති සහ මාස කිහිපයක් වශයෙන් වසාදැමීමට සිදුවන බව පාලනාධිකාරිය විසින් සේවක මණ්ඩල වලට දැනුම්දී ඇත.

මේ අතර තවත් ප්‍රමුඛ ඇඟලුම් නාමයක් වන හයිඩ්‍රාමණි (Hirdaramani Group) සමූහය විසින්ද පසුගිය මැයි මාසයේ නිවේදනය කරන ලද්දේ, වර්තමාන ගෝලීය ආර්ථික තත්ත්වය මත සිය මීපේ පිහිටි MRC Associates Garment (Pvt) Ltd ආයතනය වසාදමන බවයි.

2023 ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියනයකින් පහත වැටිය හැකි බව මැයි මාසයේ රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

මෙරට විශාලතම කාර්මික අපනයනය වන ඇඟලුම් කර්මාන්තය 2022 දී ඩොලර් බිලියන 5.95ක් උපයා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා අගෝස්තු මාසදී අක්‍රීයව පවතින බවත්, සිය සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආරම්භ කිරීමට සුදුසුම කාලය මෙය බවත්, එස්පී ඇපරල් ලිමිටඩ් සමාගමේ ප්‍රධානියකු වන පී. සුන්දරරාජන් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ශ්‍රම බලකායක් හඳුනාගෙන තිබෙන බවත්, එම ශ්‍රම බලකාය ලබාගැනීම ඉන්දියාවේ මෙන් අභියෝගාත්මක බැවින් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඔවුන් සිතූ බවත්, ඔහු සඳහන් කර ඇත.

ඔවුන් මේ වනවිට කර්මාන්ත ශාලාවක් සොයනුයේ බදු පදනම මත හෝ කොන්ත්‍රාත් පදනම මත පමණක් වන අතර, මෙහෙයුම් වෙනුවෙන් කටයුතු නියමාකාරයෙන් සකස් කෙරුණු පසු, එහි ව්‍යාපෘති ආරම්භ කිරීමට සූදානම් බවත් ඉන්දියානු සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත.