September 2, 2024

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඉකුත් අගෝස්තු මස අගදී කොළඹට පැමිණ සිටින බව පළමුවරට හෙළිවූයේ ඔහු ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ හමුවී ලබාගත් ඡායාරූපයක් පළවීමත් සමගයි.

මිලින්ද මොරගොඩ විසින් පාත්ෆයින්ඩර් පදනමේ ඉන්දු – ශ්‍රී ලංකා භෞතික සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයන කණ්ඩායම් වාර්තාවේ පිටපතක් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් වෙත පිළිගන්වා තිබිණි.

මෑතකදී දියත් කරන ලද එම අධ්‍යයන කණ්ඩායම් වාර්තාව මාර්ග, දුම්රිය, විදුලිය සහ ඛනිජ තෙල් යන අංශවල භෞතික සම්බන්ධතා සඳහා පුළුල් සැලැස්මක් සකසා තිබිණි.

මෙම මුලපිරීමේ අවසාන ඉලක්කය වන්නේ, දෙරට අතර ආර්ථික ඒකාබද්ධතාවය හරහා ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය 3 සිට 6% දක්වා ඉහළ නැංවීමයි.

ඉන් අනතුරුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක හමුවක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කිරීම, ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ අසල්වැසි රටවල් දෙක අතර කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව ඔවුන් සාකච්ඡා පවත්වා තිබේ.

මෙම හමුවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කර ඇති අතර, ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට මාර්ග ද ගවේෂණය කර තිබේ.

දකුණු ආසියාවේ ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යෑමේදී දෙරට අතර පවතින හවුල් අවශ්‍යතා සහ පොදු අභියෝග පිළිබිඹු කරමින් පුළුල් කලාපීය ගැටලු පිළිබඳව ද සාකච්ඡා කර ඇතැයි වාර්තා විය.

මේ අතර, කොළඹ ආරක්ෂක සමුළුවේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රාජ්‍යයන් එම ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුම ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කරන ලදී.

කොළඹ ආරක්ෂක සමුළුවේ මූලික පරමාර්ථය වන්නේ, සාමාජික රටවලට පොදු සැලකිල්ලක් දක්වන අන්තර්ජාතික තර්ජන සහ අභියෝග ආමන්ත්‍රණය කිරීමෙන් කලාපීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමයි.

ඒ යටතේ සහයෝගීතාවයේ අපේක්ෂාවන් පහක් ඇත. එනම් සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂාව; ත්‍රස්තවාදය සහ රැඩිකල්කරණයට එරෙහිවීම; ජාවාරම් සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම; සයිබර් ආරක්ෂාව සහ තීරණාත්මක යටිතල පහසුකම් සහ තාක්ෂණය ආරක්ෂා කිරීම සහ මානුෂීය ආධාර සහ ආපදා සහන යි.

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සිය ශ්‍රී ලංකා සංචාරයේදී එළඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිපදෙනකු ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන නායකයන් ද හමුවිය.

ඔහු එලෙස හමුවුණේ ජාතික ජන බලවේගයේ (නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙරට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් ද හමුවිය.

මෙම රැස්වීමට ඉලංකෙයි තමිල් අරසු කච්චියේ එම්.ඒ.සුමන්තිරන්, එස්.ශ්‍රීධරන්, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ සෙල්වම් අඩෙයිකලනාදන්, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානයේ ධර්මලිංගම් සිද්ධාර්ථන්, දෙමළ ජාතික ජනතා විමුක්ති පෙරමුණේ සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු ප්‍රමුඛ නායකයෝ සහභාගි වූහ. .

ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබේ.

කෙසේවෙතත්, අජිත් දොවාල් සමග පැවැති සාකච්ඡාව අවසන් වී පැය 24ක් ගතවීමට මත්තෙන් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සමගි ජන බලවේගයේ නායකයාට ජනාධිපතිවරණයේදී සහාය පලකරන බව නිවේදනය කළේය.

ඉන්දියාවේ වඩාත්ම කීර්තිමත් ඔත්තුකරුවකු ලෙස හඳුන්වන අජිත් දොවාල් එරට ජාතික ආරක්ෂක උපදේශක ලෙස සේවය කරන්නේ තෙවැනි වරටයි.