October 17, 2023

සමලිංගික විවාහ නීතිගත කළ නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

එවැනි නීතියක් පැනවීම පාර්ලිමේන්තුවේ විෂය පථය බව එරට අගවිනිසුරුවරයා පැවසීය.

ඉන්දීය අගවිනිසුරු ඩී.වයි චන්ද්‍රවුඩ් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසයේ දී අදාළ නඩුව විභාගයට ගත් අතර එහි තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කළේය.

එහිදී අගවිනිසුරුවරයා කියා සිටියේ සමලිංගික විවාහ සම්බන්ධයෙන් “අපට කොපමණ දුරක් යා යුතුද යන්න පිළිබඳව එකඟතාවයක් සහ එකඟ නොවීම්” පවතින බවයි.

අනෙක් විනිසුරුවරුන් හතර දෙනාගෙන් දෙදෙනෙකු සමලිංගික විවාහ නීතිගත නොකිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා සමඟ එකඟ වී ඇති අතර සෙසු විනිසුරුවරුන් දෙදෙනාගේ අදහස ප්‍රකාශවීමට නියමිතව තිබිණ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2018 දී සමලිංගික සේවනය තහනම් කිරීමට අදාළ නීති අවලංගු කෙරෙන ඉතිහාසගත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ද මෙවර ඊට අදාළ විවාහ නීතිගත කිරිමට එරෙහිවීම සුවිශේෂී ලක්ෂණයකි.

ආසියාවේ මේ වන විට සමලිංගික විවාහවලට ඉඩ ලබාදෙන්නේ තායිවානය සහ නේපාලය පමණි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය මෙම පෙත්සම්වලට විරුද්ධ වූ අතර ඒවා “නාගරික ප්‍රභූ අදහස්” ලෙස හඳුන්වමින් මෙම කාරණය සම්බන්ධයෙන් විවාද කිරීමට සහ නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව නිවැරදි වේදිකාව බව ප්‍රකාශ කළේය.

එවැනි විවාහයන් “සැමියෙක්, බිරිඳක් සහ දරුවන් යන ඉන්දියානු පවුල් ඒකක සංකල්පය සමඟ සැසඳිය නොහැකි” බව ද එම පෙත්සම් මගින් දක්වා තිබිණ.