November 12, 2024

සිය නිවසේ සදළුතලයේ මල් පෝච්චියක වගාකළ පැලයක හට ගත් මල්වල ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ පළකළ අඹුසැමි යුවළක් පොලිස් අත් අඩංගුවට ගැනුණු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බැංගලෝර් හි පදිංචි යුවළක් බව ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කරයි.

37 හැවිරිදි වියේ පසුවන කේ. සාගර් ගුරුන්ග් සහ 38 හැවිරිදි වියේ පසුවන උර්මිලා කුමාරි එම්එස්ආර් නගර් හි ක්ෂණික ආහාර අලෙවි සැලක් පවත්වාගෙන යයි.

ඔවුන් සිය නිවසේ සදලුතලයේ අලංකාරයට සිටුවා ඇති මල් පැල අතර ගංජා පැලයක් ද සිටුවා ඇත.

ඔවුන් ඒවා ප්‍රදර්ශනය කරමින් ඡායාරූප සහ වීඩියෝ ෆේස්බුක් හි පළකර තිබේ.

එම පෝස්ටුව දැක ඇති අයකු ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇති අතර ඉන් අනතුරුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිසිය එම ස්ථානයට පැමිණි විට ඔවුන්ගේ ඥාතියකු විසින් අවවාද කිරීම හේතුවෙන් සැකකාර යුවළ පෝච්චිවල වගාකර තිබූ පැල ඉවත්කර කසල බඳුනකට විසිකර තිබේ.

කෙසේවෙතත්, ගංජා පැලවල කොළ කිහිපයක් බඳුන්වල තිබී පොලිසිය විසින් සොයාගෙන ඇතැයි සඳහන් වේ.

ගංජා වගාකළේ ලාභ පදනම මත අලෙවි කිරීමට බව සැකකාර යුවළ පිළිගෙන තිබේ.

සැකකාර යුවළ සතුව තිබී ගංජා ග්‍රෑම් 54ක් සොයාගෙන ඇති අතර, ඔවුන් තවත් මත්ද්‍රව්‍ය බෙදාහැරීමකට සම්බන්ධ වී ඇත්දැයි සොයාබැලීම සඳහා ඔවුන්ගේ ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

42.31%
17.27%
32.76%