July 21, 2023

ලබන ඔක්තෝබර් තුන්වන සතියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින තරගාවලියේ උණුසුම්ම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් අතරද විශාල තරගයක් නිර්මාණය වී ඇත.

මේ නිසාම, මේ වන විට තරගය පැවැත්වෙන අහමදාබාද්හි හෝටල් කාමරයක මිල ඉන්දියානු රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 01 දක්වා පරාසයක් දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඉන්දියාව සහ පකිස්ථානය 2023 ලෝක කුසලාන තරඟාවලියේදී ඔක්තොම්බර් 15 වන දින අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී එකිනෙකාට මුහුණදීමට නියමිතය.

තරගාවලියේ කාලසටහන එළිදැක්වීමෙන් අනතුරුව, ඉන්දියා සහ පාකිස්ථාන තරගයේ දිනය තහවුරු වූ දා සිට හෝටල් කාමර සඳහා පවතින ඉල්ලීම් සහ ඒවායේ මිල ගණන් අහස උසට ගොස් ඇත.

මේ වන විටත් නගරයේ හෝටල් කාමර සම්පුර්ණයෙන්ම වෙන්කරවාගෙන අවසන් බවද වාර්තා අනාවරණය කරයි.

මේ අතර, රසිකයන්, හෝටල් කාමර වෙනුවට හාස්‍යජනක ප්‍රති උපාය මාර්ගයක්ද සොයාගෙන ඇත.

ක්‍රීඩාලෝලීන් මේ වන විට නගරයේ රෝහල්වල කාමර වෙන්කරවා ගැනීමටද කටයුතු කර ඇති බව පැවැසේ.

මෙම රෝහල්වල එක් දිනක වියදම රුපියල් 3000 සිට 25000 දක්වා වෙනස් වේ.

පූර්ණ ශරීර පරීක්ෂාවන් (full body check-up) සඳහා යැයි පවසමින් ප්‍රේක්ෂකයන් මෙලෙස රෝහල් කාමර වෙන්කරවාගෙන ඇත.

මෙම ප්‍රවනතාව වඩාත් ඉදිරියට ගෙනයමින්, ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය පැකේජයක් ඉදිරිපත් කිරීමට පවා අදහස් කරන බව ස්ටර්ලින් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිඛිල් ලාලා පවසා ඇත.