November 3, 2023

මෙරට උඩරට දෙමළ සිසුන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට සහ වර්ධනය වන අවශ්‍යතා සහ අභිලාෂයන් සපුරාලීමට ඉන්දියාවෙන් ගුරු පුහුණුකරුවන් යොමුකරන බව ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළාය.

සීතාරාමන් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණීමේ වසර 200 සනිටුහන් කිරීමේ “නාම් 200” උත්සවයේ ප්‍රධාන කථිකයාද වූවාය.

ඇය අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කළ අතර ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව සඳහා සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥාවක්ද ලබාදුන්නාය.

“අධ්‍යාපනය ඔබේ නිදහස් සමාජ කටයුතු වෙනුවෙන් ඔබව පරිවර්තනය කරනවා, බලගන්වනවා සහ වැඩි දියුණු කරනවා. එම නිසා ඉන්දියානු රජය දශක ගණනාවක් පුරා සංවර්ධන හවුල්කාරිත්වයේ කොටසක් ලෙස ඔබට දෙන අධ්‍යාපනික සහය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා,” යැයි ඇය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති උත්සවයේදී පැවැසුවාය.

“ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව සහ මලයහ (උඩරට) දෙමළ සිසුන්ගේ අභිලාෂයන් සඳහා වන අපගේ විශේෂ වැඩසටහනේ කොටසක් ලෙස දේශීය ගුරුවරුන් සමඟ වැඩකිරීමට ගුරුවරුන් පුහුණු කරන්නන් යොමුකර, ඉගැන්වීමේ ක්ෂේත්‍රයේ නවතම වර්ධනයන් සමඟින් ඔවුන්ව දැනුවත් කර, වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ ඉගැන්වීමේ කුසලතා වැඩිදියුණු කරන බව ප්‍රකාශ කිරීමට මම සතුටුයි. මෙම ගුරු පුහුණු වැඩසටහන යටතේ ඇති අනෙකුත් ව්‍යාපෘති සමඟින් මලයහ ප්‍රජාව සඳහා පරිපූර්ණ සංවර්ධන රාමුවක් සපයනු ඇති අතර ඔවුන්ගේ ජීවනෝපාය කෙරෙහි බලපෑමක් ඇති කරනු ඇතැයි මට විශ්වාසයි. ” යනුවෙන්ද ඇය සඳහන් කළාය.

නිපුණතා අවශ්‍යතා ඉහළ නැංවීම සඳහා ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවට සහාය වීම සඳහා හැටන් නගරයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් වැඩිදියුණු කිරීමට ඉන්දියාව ලබාදෙන සහාය සම්බන්ධයෙන්ද ඇය මෙහිදී පැහැදිළි කළාය.

ඇමැතිනිය සිය සංචාරයේදී ශ්‍රී ලංකාවේ වතුකරයේ නිවාස 10,000ක් ඉදිකිරීමේ ප්‍රමුඛතම ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ 04 වැනි අදියර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව දියත් කළ අතර, ඉන්දීය සහාය යටතේ හැටන්හි සංවර්ධනය කරන ලද තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයද විවෘත කළාය.

42.31%
17.27%
32.76%