December 21, 2023

ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙස ඉන්දියාවේ සිට ලොකු ළූණු එවන ව්‍යාපාරිකයන් දැනුම්දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග අලෙවි කරන වෙළෙන්දෝ පවසන බව ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවන ලේක් හවුස් ආයතනයේ ‘දිනමිණ’ පුවත්පත පවසයි.

ලොකු ළූණු මිල ඉහළ යෑමට හේතුව පැහැදිලි කරමින් වාර්තාවක් ගෙන එන ‘දිනමිණ’ මෙසේද සඳහන් කරයි.

“ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු ළූණු තොග අයිතිකරුවන් ඉන්දියාවේ ව්‍යාපාරිකයන් බවත් එම ව්‍යාපාරිකයන් කියන මුදලට පමණක් තමන්ට ළූණු අලෙවි කිරීමට සිදුව තිබෙන බවද ඔවුහු අවධාරණය කරති.

ඉන්දීය ව්‍යාපාරිකයන් තමන්ට පවසන්නේ, තවදුරටත් ලොකු ළූණු මිල ඉහළ දමන බව යැයි ද දඹුල්ලේ තොග වෙළෙන්දෝ පවසති.

දඹුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු තොග ගබඩාවල විශාල වශයෙන් ළූණු ගබඩා කර වෙළෙඳපොළේ ලොකු ළූණු හිඟයක් ඇතිකර ඉතා සූක්ෂ්ම ලෙස ලංකාවේ කීපදෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කීපදෙනෙකු එක්ව ලොකු ළූණු මිල ඉහළදමා ජනතාව සුරාකෑමට ලක්කරන මාෆියාවක් ක්‍රියාත්මක වන බව ලොකු ළූණු තොග වෙළෙන්දෝ පවසති.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල්වල ලොකු ළූණු අලෙවියට සීමිත ප්‍රමාණයක් පෙන්වමින් ලොකු ළූණු තොග ගබඩාවල සඟවා තිබෙන බව ද එම වෙළෙන්දෝ පෙන්වාදෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල පාකිස්ථානය, ඉන්දියාව සහ තුර්කිය රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු කිලෝවක් රුපියල් 420 සිට 600 දක්වා තොග මිල ගණන් යටතේ අලෙවි කරන බව ද එම වෙළෙන්දෝ පෙන්වාදෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙන්ම අවට ප්‍රදේශවලින් විශාල වශයෙන් තොග ගබඩාවලින් විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ළූණු ගබඩා කර තිබෙන බවත් ඒවා ඉතා සූක්ෂ්ම ලෙස හිඟයක් මවාපාමින් විශාල ලාභයක් තබාගෙන අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදුකරන බව ව්‍යාපාරිකයකු වන එම්. ජි. ෆසිල් මහතා සඳහන් කළේය.

මේ ලොකු ළූණු වැඩි මිල ගණන් යටතේ ගෙන්වා නොතිබූ බවත්, උත්සව සමය ඉලක්ක කරගෙන ලොකු ළූණු මිල ඉහළ දැමීම ජාවාරමක් කරගෙන යන නිසාවෙන් මේ ජාවාරමට තිත තබන්නැයි එම වෙළෙන්දන් රජයෙන් ඉල්ලීමක් ද කළේය.

දේශීය ලොකු ළූණු වගාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම ජාවාරම කිරීමට පසුබිම සැකසූ ක්‍රියාවලියක් බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට ඉන්දියාවේ සහ ලංකා ව්‍යාපාරිකයන් කීපදෙනෙකු එක්ව මුළු රටේම ලොකු ළූණු මිල තීන්දු කරමින් මහා පරිමාණ ජාවාරමක් කරනතුරු ආණ්ඩුව සහ වගකිවයුතු ඇමැතිවරුන් නිහඬව බලා සිටින්නේ යම් වාසියක් ඒ අයට ලැබෙනවා දැයි සැක මතුවන බවය.

දේශීය ලොකු ළූණු වගාව සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම කළ බවට ද නාමල් කරුණාරත්න මහතා චෝදනා කරමින් මේ ලොකු ළූණු සඟවාගෙන අලෙවි කරන ජාවාරම්කරුවන්ට නිසි දඬුවම් දෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලා සිටී.

ලොකු ළූණු තොග සඟවාගෙන සූක්ෂ්ම ලෙස මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානී රේණුක පෙරේරා මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ එවැනි තොග සඟවා ඇති බවට තමන්ට කිසිම තොරතුරක් මේ වනතුරු ලැබී නැති බවයි.

මේ පිළිබඳව වහා සොයාබැලීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ ලොකු ළූණු සඳහා ගැසට් එකකින් මිලක් පාලනය කර නැති නිසා තමන්ට ඒ පිළිබඳව රාජකාරියක් කිරීමට හැකියාවක් නැති බවයි.

කෙසේ වෙතත් තොග සඟවා තැබීම ගැන සොයා බැලීමට හැකියාවක් තිබෙන බව ද සඳහන් කළේය.

ලොකු ළූණු කොමිස්පිට අලෙවි කරන ප්‍රජාව කියාසිටියේ මේ වන විට ලොකු ළූණු මිල පාලනය කිරීම අතළොස්සක් වූ ව්‍යාපාරිකයන් කීපදෙනෙකු විසින් සිදුකරන බවය.

ඕනෑ තරම් ගබඩාවල සඟවාගෙන ප්‍රසිද්ධියේ මෙය කරන බව ද මේ පිරිස චෝදනා කරති.

ලොකු ළූණු අලෙවි කරන ව්‍යාපාරිකයකු වූ ෆසිල් මහතා කියාසිටියේ දඹුල්ල අවට පමණක් පිටරටවලින් ගෙන්වූ ලොකු ළූණු කිලෝ ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සඟවාගෙන ඉතා සූක්ෂ්ම ලෙස අලෙවි කිරීමේ කටයුතු සිදුකරන බවයි.