April 12, 2024

ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා ශක්තිමත් කරමින් ඉන්ඩිගෝ ගුවන් සේවය මුම්බායි සහ කොළඹ අතර නව ඍජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (අප්‍රේල් 12) සිට මුම්බායි – කොළඹ ඍජු ගුවන් ගමන් අරඹමින් ඉන්ඩිගෝ ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය සම්බන්ධතාව පුළුල් කර ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ නිවේදනයේ දැක්වෙන පරිදි ඉන්ඩිගෝ ගුවන් සේවය සතියකට දින 03 ක් එනම්, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල මුම්බායි – කොළඹ ඍජු ගුවන් ගමන් සිදු කරනු ඇති.

එම දිනවල පැමිණීමේ වේලාව CMB – 0935 බවත් පිටත්වීමේ වේලාව CMB – 1035 ලෙසත් දැක්වෙයි.

මේවනවිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් ගමන් කොළඹ සිට ඉන්දියාවේ ගමනාන්ත තුනකට ක්‍රියාත්මක වේ.

ඒ, චෙන්නායි සිට දිනකට දෙවරක් දිනපතා, බැංගලෝර් සිට එක් වරක් දිනපතා සහ හයිද්‍රාබාද් සිට සතියකට දින 06ක් ලෙසයි.

නව මාර්ග ව්‍යාප්තියත් සමග එම ගුවන් ගමන් සේවාව කොළඹ සිට ගමනාන්ත හතරක් දක්වා ක්‍රියාත්මක වනු ඇති.

එය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංචාර, වෙළඳ සහ සංචාරයක ව්‍යාපාරයේ දියුණුවට ඉමහත් දායකත්වයක් සපයනු ඇතැයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම පවසයි.

එමෙන්ම මෙම නව ගුවන් ගමන් සම්බන්ධතාවත් සමඟ ඉන්ඩිගෝ ගුවන් සේවය ඉන්දියාවේ ප්‍රධාන නගර හතරකින් කොළඹට සතිපතා ගුවන් ගමන් 30 ක් ක්‍රියාත්මක කරනු ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය පවසන්නේ, යාපනය සහ ඉන්දියාව අතර ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මෑතකදී ඉන්ඩිගෝ ගුවන් සමාගම සමඟ සාර්ථක සාකච්ඡා පැවැත්වූ බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ඩිගෝ ගුවන් සමාගම 2024 ජූනි 1 වනදා සිට යාපනය සහ චෙන්නායි අතර සෘජු ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සිදුකරනු ඇති බව ද ඔහු පවසයි.

මෙම සම්බන්ධතාවය උතුරු පළාතේ සංචාර සහ වෙළඳාම ඉහළ නංවන අතර රටවල් ද්විත්වය අතර සංස්කෘතකි හා ආගමික සබඳතා ශක්තිමත් කරනු ඇති බව ද ඔහු පෙන්වාදෙයි.