September 5, 2023

සැප්තැම්බර් 18 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයේදී ඉන්දියාව ‘භාරත්’ ලෙස නම් කිරීමේ යෝජනාවක් රජය විසින් ගෙනඒමට ඉඩ ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

India Today වාර්තා කර ඇති ආකාරයට, ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනට රට හඳුන්වන ‘ඉන්දියාව’, ‘භාරත්” ලෙස සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබේ.

Rashtriya Swayamsevak Sangh (RSS) ප්‍රධානී මොහාන් භගවත් වැනි ප්‍රමුඛ පුද්ගලයන් මෙම වෙනස සඳහා ඔවුන්ගේ සහයෝගය ප්‍රකාශ කර ඇත.

“ඉන්දියාව” වෙනුවට “භාරත්” යන පදය භාවිත කරන ලෙස භගවත් මීට පෙර ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, රට සියවස් ගණනාවක් තිස්සේ භාරත් ලෙස හැඳින්වූ බව අවධාරණය කර තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදි ද ඒ හා සමාන අදහස් පළකර ඇත.

2022 අගෝස්තු 15 වන දින, රතු බලකොටුවේ පවුරේ සිට, ඔහු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ පොරොන්දු පහක් පිළිබඳවය. ඉන් එකක් වහල්භාවයේ සෑම සලකුණකින්ම නිදහස් වීමයි. මෙය රටේ ස්වදේශීය අනන්‍යතාවය වැළඳ ගැනීමේ සංකේතාත්මක අභිනයක් ලෙස සැළකේ.

ජනාධිපතිවරයා, උප ජනාධිපති සහ අගමැති යන අය රැගෙන යෑමට භාවිත කරන විශේෂ ගුවන් යානයේ “භාරත්” යන නම සටහන් කර තිබීම විශේෂත්වයකි.

පසුගියදා අවසන් වූ පාර්ලිමේන්තුවේ සැසියේදී, භාරතීය ජනතා පක්ෂ රාජ්‍ය සභා මන්ත්‍රී නරේෂ් බන්සාල් ‘ඉන්දියාව’ ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ එය යටත් විජිත වහල්භාවය සංකේතවත් කරන බවට තර්ක කරමිනි.

“ඉන්දියාව” වෙනුවට “භාරත්” ආදේශ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලා සිටි භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී හර්නාත් සිං යාදව් විසින්ද එම අදහස තහවුරු කර ඇත.

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරය සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වන බැවින් මෙම වෙනස ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවට මත පළවෙමින් තිබේ.