September 14, 2024

2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

2023 වසරේ මුල් භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණවලින් වඩාත් පීඩාවට පත් වූවන්ට සහන සළසන අතරම මූල්‍ය වගකීම් පවත්වා ගැනීම මෙම බදු ගැළපීම් සිදු කිරීමේ අරමුණ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය මෙසේයි;

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව, පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා යෝජිත සංශෝධන, ඇමැති මණ්ඩල සංදේශයක් මගින් ඉදිරිපත් කර තිබේ.

2022 වසරේ මැද භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ, රටේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පුළුල් උපාය මාර්ගයේ අංගයකි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන ඇති විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ, 2025 වසර අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි.

මෙම ඉලක්කයට ළඟාවීම සඳහා 2025 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැළකිව යුතු බදු ආදායමක් අවශ්‍ය වේ.

මූලික ප්‍රතිසංස්කරණ සඳහා වසරකට රුපියල් මිලියන 1.2 බැගින් වූ බදු රහිත සීමාවක්, රුපියල් 500,000 බැගින් වූ බදු පරාසයන් සහ බදු අනුපාතය 6%ක අවමයක් සහ 36%ක උපරිමයක් ඇතුළත් විය.

කෙසේවෙතත්, විශේෂයෙන් මධ්‍යම ආදායම් ලබන්නන් සඳහා සහන ලබාදෙන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම් අනුව, ශ්‍රී ලංකාව සිය මූල්‍ය ඉලක්ක සපුරාලීමට පටන් ගත් 2024 මැද භාගයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ මේ පිළිබඳ නැවත සාකච්ඡාවල නිරත වීමට රජය කටයුතු කළේය.

ඒ අනුව බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 දක්වා ඉහළ නංවන අතර, බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2ක් ලෙස තබා ගැනීම සහ ඉහළම බදු අනුපාතය වන 36% ඇතුළුව සෑම මට්ටමකම ආන්තික බදු අනුපාත පවත්වා ගැනීමට රජය යෝජනා කර තිබේ.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සිදුකරන සංශෝධනවලින් අනතුරුව මෙම ගැළපීම 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

බදු බර වැඩි වශයෙන් ප්‍රකාශිත බදු තීරුවල මධ්‍යයේ සිටින පිරිසට සහන සැළසීම මෙම බදු ගැළපීම මගින් අවධානය යොමු කර තිබේ. නිදසුනක් වශයෙන්, මසකට රුපියල් 150,000ක ආදායමක් ලබන පුද්ගලයකුගෙන් අය කළ බදු මුදල 14%කින් අඩුවන අතර ඉහළ ආදායම් ලබන්නන්ට වඩාත් සීමිත සහනයක් හිමිවේ.

මෙම ගැළපුම මගින් මෙරට සමස්ත ආදායමට ඇතිවන බලපෑම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.07%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2025 දී වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් ලැබෙන ආදායම යන කරුණු සැළකිල්ලට ගනිමින් මෙම සහනය සැළසීම පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තිබේ.

යෝජිත සංශෝධන මගින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගැනීමේ අවශ්‍යතාව මෙන්ම විශේෂයෙන්ම මධ්‍ය ආදායම් ලබන්නන් සඳහා සහන සළසන ලෙස ජනතාව සිදුකළ ඉල්ලීම ඉටුවන බව මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.