October 17, 2023

ළමා අපචාරවලට එරෙහි විමර්ශනයකදී සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එලෝන් මස්ක්ට අයත් X (මීටපෙර twitter) වෙත ඕස්ට්‍රේලියානු ඩොලර් 610,500ක දඩයක් පැණවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම දඩය පනවා ඇත්තේ, මස්ක් විසින් පසුගිය නොවැම්බරයේදී “ළමා සූරාකෑම ඉවත් කිරීම #1 ප්‍රමුඛතාවයි” යනුවෙන් පෝස්ටුවක් පළකරන ලද පසුබිමකය.

කෙසේවෙතත් අදාළ ගැටලුවේදී X සමාගම ඕස්ට්‍රේලියානු අන්තර්ජාල ආරක්ෂණ කොමිසමේ ( eSafety commission) විවේචනයට ලක්වූයේ සමාගමේ එම ප්‍රකාශ හුදු “හිස් කතාවක්” වීම හේතුවෙනි.

සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මීට පෙර සඳහන් කර ඇත්තේ, X හි සිදු වූ කප්පාදු කිරීම් හමුවේ මාර්ගගත ක්‍රම මගින් සිදුකෙරෙන අපහාසාත්මක ප්‍රචාරවලින් පරිශීලකයන් ආරක්ෂා කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇති බවය.

මීට පෙර Twitter ලෙස හැඳින් වූ X සමාගම මස්ක් විසින් ඩොලර් බිලියන 44කට පසුගිය වසරේදී මිලදී ගනු ලැබිණි.

එහෙත් මිලට ගත් දා සිට එහි ආදායම්වල අඛණ්ඩ පහත වැටීමක් දක්නට ලැබේ.

2021 දී ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු නීති යටතේ, අන්තර්ජාල සමාගම්වලට ඔවුන්ගේ මාර්ගගත ආරක්ෂණ ක්‍රම පිළිබඳ තොරතුරු ලබා දීමට බල කළ හැකි අතර එසේ නොකරන්නේනම් ඔවුන් දඩයකට යටත් කිරීමට නියාමන ආයතනවලට බලය ලබා දී තිබේ.

දඩය නොගෙවන්නේ නම් සමාගම අධිකරණය හමුවට පැමිණවීමට නියාමන ආයතනවලට හැකියාව ඇත.

ළමා අපයෝජන අන්තර්ගතයන් හැසිරවීම පිළිබඳ තොරතුරු සඳහා වන ඉල්ලීමට අනුකූල නොවීම සම්බන්ධයෙන් ඇල්ෆැබට්ස් ගූගල් (Alphabet’s Google) නම් සමාගම වෙත ද නියාමන බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

නමුත් X සමාගම සම්බන්ධ ගැටලුව වඩාත් බරපතළ වන්නේ ඉල්ලා සිටින ලද තොරතුරුවලදී ඇතැම් ප්‍රශ්නවලට කිසිදු ප්‍රතිචාරයක් සැපයීමට සමාගම අපොහොසත් වීම සහ ඇතැම් කොටස් සම්පූර්ණයෙන්ම හිස්ව තැබීම හේතුවෙන් බව නියාමන ආයතන පෙන්වා දෙයි.

“ළමා ලිංගික සූරාකෑම පිළිබඳ වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට මෙම සමාජමාධ්‍ය වේදිකාවට ගතවන කාලය ඇතුළු ප්‍රධාන ප්‍රශ්න ගණනාවකට Twitter/X ප්‍රතිචාර දක්වා නැත. සජීව ප්‍රවාහයන් තුළ ළමා ලිංගික සූරාකෑම හඳුනා ගැනීම සඳහා සමාගම ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග සහ ළමා ලිංගික සූරාකෑමට ලක්වීම් හඳුනා ගැනීමට ඔවුන් භාවිත කරන මෙවලම් සහ තාක්ෂණයන් සම්බන්ධයෙන් ද කිසිදු ප්‍රතිචාරයක් නැත.” යනුවෙන් නියාමන ආයතන ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් මස්ක් විසින් සමාගම පවරා ගැනීමට පෙර හිමිකරුවන්ව සිටි දෙදෙනාගේ සමයට සාපේක්ෂව, ගෝලීය වශයෙන් සිය ශ්‍රම බලකායෙන් සියයට 80ක් මේ වනවිට කපා හැර ඇති බවත්, ඕස්ට්‍රේලියාව තුළ ප්‍රතිපත්ති සම්බන්ධ කාර්ය මණ්ඩලයක් නොමැති බවත්, සමාගම නියාමන ආයතන වෙත තහවුරු කර තිබේ.

මැතිවරණ පිළිබඳ ඇති වැරදි තොරතුරු වාර්තා කිරීමට පරිශීලකයන්ට ඉඩ සලසන විශේෂාංගයක් අක්‍රීය කිරීම සම්බන්ධයෙන් ද පසුගිය මාසයේදී X සමාගම ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසකගේ විවේචනයට ලක්ව තිබිණි.

එය කනගාටුදායක වී තිබුණේ ආදිවාසීන්ට වැඩි අයිතිවාසිකම් ලබා දීම සඳහා සති අන්තයේ පැවති ඕස්ට්‍රේලියානු ප්‍රධාන ජනමත විචාරණයට පෙර මෙම පියවර ගැනීම හේතුවෙනි.